Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

මුතු රාජා තායිලන්තයට – මුතු රාජා හෙවත් ‘‘සක්සුරින්‘‘ පිටත්ව යද්දී දෑසින් කඳුළු එයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ශ්‍රී ලංකාවෙන් තායිලන්තය වෙත රැගෙන ගිය ‘‘මුතු රාජා‘‘ හෙවත් ‘‘සක්සුරින්‘‘ ඇතා රැගත් ගුවන් යානය ඊයේ(2) දින ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 12.33 ට තායිලන්තයේ “චියෑන් මායි” ( Chiang Mai ) ගුවන් තොටුපොළ වෙත ගොඩ බස්වා තිබේ.

මෙම ඇතා රැගත් රුසියානු ඒවියාකොන් සිටොට්‍රාන්ස් ගුවන් සේවයේ ( Aviacon Zitotrans ) ඒ.ඉසෙඩ්.එස්.- 5701 දරන ගුවන් යානය ඊයේ  උදෑසන 07.30 ට කටුනායක ගුවන් තොටුපොළෙන් තායිලන්තයේ චියෑන් මායි ගුවන් තොටුපොළ බලා පිටත් විය .

පැය 05 ක ගුවන් ගමනකින් පසුව මෙම ගුවන් යානය මේ වනවිට තායිලන්තයේ චියෑන් මායි ගුවන් තොටුපොළ වෙත ගොඩ බස්වා තිබේ.

මෙම ඇතා ගුවනින් ගෙන යෑම සඳහා රුසියාවේ ඉලුෂියන්-76 වර්ගයේ ඇංජින් 04 කින් බලගැන්වෙන විශාල භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් 30 වැනිදා රාත්‍රී 11.30 ට කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබුණි. විශේෂයෙන් සකස් කරන ලද කූඩුවක බහා මෙම ඇතා ඊයේ අලුයම 03.00 ට පමණ කටුනායක ගුවන්තොටුපළ වෙත ඉතා ප්‍රවේශමෙන් රැගෙන ඒමට පියවර ගෙන තිබුණු අතර අලුයම 04.30 ට පමණ ඇතා ගුවන් යානය වෙත පැටවීම සිදු කෙරිණි.

2001 වසරේ තායිලන්තයෙන් මෙරටට පරිත්‍යාගයක් ලෙස මෙරටට ලැබීමෙන් පසු එවක ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් හස්තියා රැක බලාගැනීම සඳහා අලුත්ගම කන්දේ විහාරාධිපතිව වැඩසිටි අපවත්වී වදාළ බටුවන්හේන බුද්ධරක්ඛිත හිමියන් වෙත පූජා කිරීමෙන් පසු මුතුරාජා ලෙස නම් තබා සඟරුවන ඇසුරේ කීකරුව හැදී වැඩී ඇති අතර රටේ විවිධ පෙරහැරවල ධාතු කරඬුව වැඩමවීමටද සම්බන්ධ කරගෙන ඇත.

මේ අතර මුතුරාජා අසනීප වී ඇති අතර වත්මන් විහාරාධිපති කොක්කාවිට විපුලසාර හිමියන් විසින් වැඩිදුර ප්‍රතිකාර සඳහා මුතුරාජා දෙහිවල ජාතික සත්වෝද්‍යානයට භාර කර තිබේ. සත්වයාගේ පාදයේ ආබාධයට වැඩිදුර ප්‍රතිකාර සඳහා තායිලන්ත රජයේ ඉල්ලීම මත අවුරුදු 29 ක් වූ අඩි 9 ක් උස කිලෝ 4000 බරකින් යුත් මෙම හස්තියා ඉකුත් 01 වැනිදා රුසියාවෙන් රැගෙන ආ විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයෙන් තායිලන්තයට රැගෙන යෑම සඳහා දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ දක්වා විශේෂිත බහාලනයක් මගින් රැගෙන යනු ලැබීය.

කෙසේ වුවද හස්තියා භාරව කටයුතු කළ ඇත්ගොව්වාගේ අනිසි හැසිරීම මත හස්තියා හිංසනයට පත්ව ඇති බවට අනාවරණය වීම හේතුවෙන් මෙරට තායිලන්ත තානාපතිවරයා විසින් මුතුරාජා හස්තියා කන්දේ විහාරස්ථානයෙන් මාරු කර දෙහිවල සත්වෝද්‍යානය භාරයට පත් කර තිබිණි.
පාදයේ ඇති වූ ආබාධ පිළිබඳවද නිරීක්ෂණය වූ අතර විදේශයන්හි සිට ආ සංචාරකයින් හා සත්ව ආරක්ෂාව සම්බන්ධ සංවිධාන හස්තියාට සිදුවන හිරිහැර ගැන වරින්වර වාර්තා කර තිබුණි.
මේ නිසාම මුතුරාජා හස්තියා නැවත තායිලන්තයට රැගෙන යාමට තානාපතිවරයා තීරණය කර තිබූ බවද වාර්තා විය.

හස්තියා මෙරට රඳවා ගැනීම සම්බන්ධයෙන් අමාත්‍ය මහින්ද අමරවීර කියා තිබුනේ, දෙහිවල සත්වෝද්‍යානයේ කාර්යමණ්ඩල සත්කාර මධ්‍යයේ හස්තියා මේ වනවිට ආරක්ෂිතව පසුවන බවයි. ඒ ගැන දන්වමින් තානාපතිවරයා වෙත නැවත ඉල්ලීම් කර තීරණය වෙනස් කරන ලෙසද ඉල්ලා තිබුණි.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ රාජ්‍ය පාලන සමයේ ශ්‍රී ලංකාවට තායිලන්තයෙන් ලැබුණු ඇතුන් දෙදෙනාගෙන් එක් ඇතකු කැලණි රජමහා විහාරයටත් අනෙක් ඇතා වන මුතූ රාජා නමින් නම් තබා තිබූ මේ ඇතා අලුත්ගම කන්දේ විහාරයටත් පරිත්‍යාග කෙරුණ අතර පසු කාලීනව ශ්‍රී දළදා පෙරහරේ කරඬුවක් දරා ගමන් කිරීමට සුදුසුකම් ලැබ සිටි සත්වයෙකි.

අලුත්ගම කන්දේ විහාරයේ සිටි ‘මුතු රාජා’ ඇතා පසුපස පාදයේ ඇති වූ ආබාධයකට ප්‍රතිකාර ලබාගැනීමට තායිලන්තයට රැගෙන යන බව පමණක් කන්දේ විහාරයේ විහාරාධිපති කොක්කාවිට විපුලසාර නාහිමියෝ මාධ්‍ය වෙත දන්වා තිබූ නමුත් සත්ව හිංසනයක් සිදුවූ කතාව මාධ්‍ය වෙත දන්වා තිබුනේ නැත. හස්තියා ප්‍රතිකාර කර නැවත ලංකාවට ගෙන ඒමක් සිදුවන ආකාරයට අදහස් දක්වා තිබූ නමුත් එවැන්නක් දැන් සිදුවන්නේ නැත.

ඇත් රජුගේ ආගමනයෙන් පසු ගුවන් තොටුපලේ සිට කතා කරමින් තායි පරිසර අමාත්‍ය Varawut Silpa-archa පැවසුවේ “ඔහු චියැං මායි වෙත පරිපූර්ණව පැමිණියා” යනුවෙනි. “ඔහු පැය පහක් ගමන් කළා… කිසිවක් වැරදී නෑ… , ඔහුගේ තත්වය සාමාන්යයි.” අමාත්‍යවරයා වැඩිදුරටත් කීවේය.

“සියල්ල හොඳින් සිදුවනු ඇති,” ඇමතිවරයා විශ්වාසය පල කළේය.

එහෙත් ඇතා තවමත් ඉන්නේ ප්‍රතිකාර මට්මේය. තායිලන්තයට අද පැමිණි පසු අසල ඇති ස්වභාවික රක්ෂිතයක අද සිට දින 14 ක නිරෝධායන කාලයක් මුතුරාජා විසින් ගත කරනු ඇත. අනතුරුව ඇතාට අවශ්‍ය ප්‍රතිකාර සඳහා තායි අලි සංරක්ෂණ මධ්‍යස්ථානයේ Chang Lampang රෝහල වෙත යැවීමට සැලසුම් කර තිබේ.

පසුගිය වසරේ ඇත් රජු කන්දේ විහාරයෙන් මුදා ගන්නා අවස්ථාවේදී ඔහුගේ සිරුර තුවාලවලින් වැසී තිබූ බව සත්වෝද්‍යානයේ ප්‍රධාන පශු වෛද්‍ය මධුෂ පෙරේරා CNN වෙත පවසා තිබිණි. සත්ව සුබසාධන කණ්ඩායම් පවසා තිබුණේ ඇතා දැව ව්‍යාපාරිකයන් සමඟ වැඩ කිරීමට යොදවා ඇති බවත්, සතාගේ තුවාල බොහෝමයක් ඔහුගේ ම්ලේච්ඡ ඇත්ගොව්වා විසින් සිදුකර පසුව ප්‍රතිකාර නොකර නොසලකා හැර තිබූ ඒවා බවත්ය.

 

Scroll to Top