මෙරට වාර්ෂික වියළි මිරිස් පරිභෝජනය මෙට්‍රික් ටොන් 55,000ක් පමණ වන අතර, ඉන් රට තුළ නිෂ්පාදනය කරනුයේ මෙට්‍රික් ටොන් 5,000ක් පමණි. ඉතිරි ප්‍රමාණය ඉන්දියාව ඇතුළු විදෙස් රටවලින් ආනයනය කිරීම සිදු කරයි. මෙරට වියළි මිරිස් අවශ්‍යතාව දේශීය වශයෙන් සම්පූර්ණ කර ගැනීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් සිටී. ඒ අනුව, එවැනි වගාවක් ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කුඹල්වෙල ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ ගොවීන් විසින් මේ වන විටත් ආරම්භ කරනු ලැබ ඇති අතර, ඒ හරහා ඔවුන්ගේ අතමිට ද සරු වී ඇති බව දැනගන්නට ලැබේ.
බණ්ඩාරවෙල කලාපය භාර සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂිකා තුෂානි මුණසිංහ මහත්මිය මේ සම්බන්ධයෙන් කියා සිටියේ,
දේශීය අවශ්‍යතාවට අවශ්‍ය වියළි මිරිස් මෙරට තුළම නිෂ්පාදනය කර ගැනීමේ අරමුණින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂි අංශ නවීකරණ දෙපාර්තමේන්තුවේ සහයෝගය ඇතිව බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල සහකාර කෘෂිකර්ම අධ්යක්ෂ කලාපය තුළ මෙම ව්‍යාපෘතිය සිදු කරන බවයි. ඒ සඳහා ඇල්ල, කුඹල්වෙල ග්‍රාම නිලධාරී කොට්ඨාසය තෝරාගෙන එක් ගොවි මහතකුට අක්කර භාගයක් වගා කිරීම සඳහා අවශ්‍ය උපකරණ දුන් බවත්, මේ වන විට ඒ මිරිස් වගාවෙන් රුපියල් ලක්ෂ 10ත් 17ත් අතර ආදායමක් ලබාගෙන ඇති බවත් කියා සිටියාය.
කුඹල්වෙල කොට්ඨාසයේ කෘෂිකර්ම උපදේශක චින්තක සිලෝගම මහතා මෙසේ පැවසීය.
“කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘතිය, කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එක්ව මෙම මිරිස් වගාව ක්‍රියාවට නැංවීමට කටයුතු කළා. අප ඒ තුළින් සැලසුම් කළේ අක්කර භාගය බැගින් වූ ඒකක 300ක් මෙම ප්‍රදේශයේ ආරම්භ කරන්න .ඒ සඳහා ඉඩම් තෝරා ගැනීමේදී උමා ඔය ව්‍යාපෘතිය නිසා වගාවන් අත්හැර දැමූ ගොවීන් ඉලක්ක කර ගැනීමත් සිදු කළා. ඒ අනුව මෙම ව්‍යාපෘතිය ඒ ප්‍රදේශයේ තෝරාගෙන ක්‍රියාත්මක කිරීමට යෑමේදී අපට ගොවි සංවිධානවලින් ගැටලුවක් ආවා. ඒ තමයි මේ තෝරා ගත් ඉඩම් තිබූ ප්‍රදේශයේ එක් ගොවි සංවිධානයකට අයත් ප්‍රදේශයක පමණයි ජලය තිබුණේ. ඔවුන් අකමැති වුණා පහළ ගොවීන්ට ජලය දෙන්න. ඒත් මෙම ව්‍යාපෘතිය බදුල්ල දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක විය යුතු බැවින් කොටස් තුන්සියය අතරින් කොටස් දහයක් මම කුඹල්වෙල කොටසට ගත්තා. ඉතිරි කොටස් මහියංගණය ප්‍රදේශයේ ගොවීන් අතරට ගියා. අප මේ වගාව සඳහා තෝරා ගත්තේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් නිෂ්පාදනය කරනු ලබන MICH හයිඩ්රයිඩ් දෙමුහුන් මිරිස් වර්ගය. තෝරා ගත් ගොවීන් දසදෙනාට අවශ්‍ය දැනුම හා මූලික උපකරණ ලබා දීම සිදු කරමින් නව තාක්ෂණය යොදා මෙම වගාව කරනවා. කෘමීන්ට එන්න බැරි වෙන්න වගාව වටා කෘමි ප්‍රතිරෝධක දැල් ගහලා, පොලිතින් වසුන් උඩ තමයි සම්පූර්ණයෙන්ම වගාව සිදු කරන්නේ. ”
බදුල්ල – නිශාන්ත