ඉන්දියාවේ පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය වෙනුවෙන් මේ දිනවල සිම්බාබ්වේහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලිය යටතේ ශ්රී ලංකා කණ්ඩායම සමග සහභාගි වෙන මීළග තරගය ස්කොට්ලන්තය සමගින් අද (27) දහවල් 12.30ට පැවැත්වේ.
‘බී’ කාණ්ඩය යටතේ ශ්රී ලංකාව සහභාගි වන සිව්වැනි තරගය මෙය වේ.
මේ දක්වා ශ්රී ලංකාව සහභාගි වූ තරග තුනම ජයගෙන තිබීම හමුවේ ඔවුන් අද තරගයට එක් වන්නේ ‘බී’ කාණ්ඩයේ පෙරමුණේ සිටිමින්ය.
ස්කොට්ලන්තය එම කාණ්ඩයේ ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසු වන්නේ මෙතෙක් සහභාගී වූ තරග 3ම ජය ගනිමිනි.
මේ වනවිට මෙම කණ්ඩායම් දෙකම සුපිරි 6 දෙනාගේ වටයේ ස්ථානය තහවුරු කරගෙන සිටි.
බී කාණ්ඩයේ අනෙක් තරගය අයර්ලන්තය සහ එක්සත් අරාබි එමීර් කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතයි.
එම කණ්ඩායම් දෙකම මූලික වටයේ සහභාගී වූ තරග තුනෙන්ම පරාජය වී ඇති බැවින් සුපිරි 6 දෙනාගේ වටයට පිවිසීමේ අවස්ථාව ද අහිමි වී ඇත.
කෙසේ වෙතතත් ‘බී’ කාණ්ඩයෙන් මේ වන විට ශ්රී ලංකාව, ස්කොට්ලන්තය සහ ඕමානය අදාළ සුපිරි කණ්ඩායම් හය වටයට සුදුසුකම් ලබා තිබේ.
එම වටයේදී ශ්රී ලංකා කණ්ඩායම සහභාගි වන පළමු තරගය මේ මස 30 වැනිදා නෙදර්ලන්තය සමගින් පැවැත්වෙනු ඇත.
එම වටයේ ශ්රී ලංකාව සහභාගි වන දෙවැනි තරගය ජුලි 2 වැනිදා සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම සමගින් පැවැත්වෙන අතරවාරයේදී එම තෙවැනි තරගය ජුලි මස 7 වැනිදා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමගින් පැවැත්වීමට ඉඩක් ඇත.
එම සෑම තරගයක්ම දහවල් 12.30ට පැවැත්වෙනු ඇත.
පැවැති තරග තුනේදීම කඩුලු පහ බැගින් වාර්තා කළ වනිඳු හසරංග අද තරගයේදී ද කඩුලු පහක් වාර්තා කළහොත් එම දක්ෂතාවය දැක්වූ ලොව පළමු පන්දු යවන්නා බවට ඔහු පත්වනු ඇත.
ශ්රී ලංකාව සහභාගී වන තරගය සිරස TV සහ TV1 නාලිකා ඔස්සේ නැරඹිය හැකියි.
සියලු තරග WWW.SIRASATV.LK වෙබ් අඩවිය හරහා විකාශය වනු ඇත.