Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

අනුරාධපුර පොසොන් පිරිත් පින්කම් අද සිට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ඓතිහාසික මහමෙව්නාවේ පොසොන් පිරිත් පින්කම් මාලාව අද (30) පස්වරුවේදී ආරම්භ කිරීමට සියලුම විධි විධාන සලසා ඇති බව වාර්ෂික පොසොන් සති පිරිත් පින්කම් සමිතියේ සභාපති, අනුරාධපුර මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් ගාමිණී සේනාරත්න මහතා පැවැසීය.

අනුරාධපුර අටමස්ථානාධිපති සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ නුවර කලාවිය ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි පොසොන් සති පිරිත් පින්කම මෙවර සංවිධානය කර ඇති බව ඒ මහතා කීය.

මහමෙව්නා පුදබිමේ ශ්‍රී මහා බෝ සමිඳුන් අබියස පිරිත් මණ්ඩපයේදී මහා සංඝරත්නය විසින් අද රාත්‍රී 8.00 ට පිරිත් පේ කිරීම චාරිත්‍රානුකූලව සිදු කෙරේ.

ඊට පෙර අද සවස 3.00 ට ඉසුරුමුණිය රජමහා විහාරස්ථානයේ සිට ශ්‍රී මහා බෝධිය අබියස පිරිත් මණ්ඩපය දක්වා සාම්ප්‍රදායික පැන් පෙරහර ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත. ඉන්පසු සවස 6.00 ට රුවන්වැලිසෑය සිට ආරම්භ කෙරෙන මල් පෙරහර ශ්‍රී මහා බෝ සමිඳුන් වෙත ගමන් කර එහිදී මූලික ආගමික වතාවත් සිදු කිරීමෙන් පොසොන් සති පිරිත් පින්කමට මුල පිරේ.

ජාතික පොසොන් උළෙලට සමගාමීව පොසොන් සති පිරිත් පින්කම් මාලාව මෙවර පැවැත්වෙන්නේ 44 වැනි වරට යැයි සමිතියේ ලේකම් නිමලවංශ පුංචිබණ්ඩාර මුණසිංහ මහතා පැවැසීය.

සති පිරිත් පින්කමේ පිරිත් දේශනා හෙට (31) අලුයම 5.00 සිට ආරම්භ කෙරේ.

මේ අතර සති පිරිත් පින්කමේ දොරකඩ අස්න අනුශාසනා ලබන 06 වැනිදා රාත්‍රියේ සිදු කෙරේ. පසු දින (07) මහා සංඝරත්නය උදෙසා දහවල් දානය පිරිනැමීමෙන් පින්කම් මාලාව නිම කිරීමට නියමිතය.

මිහින්තලේ සී.මලවරආරච්චි හා වොල්ටර් දයාරත්න

Scroll to Top