Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

පශු වෛද්‍යවරු රට හැර යයි. උඩරට දියර කිරි නිෂ්පාදනය බරපතල අර්බුදයක – රෝගී සතුන් අකාලයේ මිය යයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

පශු වෛද්‍යවරයෙකු නොමැති වීම නිසා කිරි ගව පාලනයේ නිරත වෙමින් ජීවිකාව සරි කර ගන්නා මස්කෙළිය ප්‍රදේශයේ ගොවිහු තම කර්මාන්තය අකර්මණ්‍ය වන බව පවසමින් මැසිවිලි නගති.
දියර කිරි නිෂ්පාදනයට ඉහල ඉල්ලුමක් තිබුණ ද සතුන් රෝගී වු අවස්ථාවන්වල දී වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර ලබා දීමට මස්කෙළිය පශ්‍ර වෛද්‍ය කාර්යාලයේ පශු වෛද්‍යවරයෙක් නොමැති නිසා සතුන් මිය ගිය අවස්ථා කීපයක් ඇති බව ප්‍රදේශයේ කිරි ගොවීහු පෙන්වා දෙති .
මස්කෙළිය පශූ වෛද්‍ය කොට්ඨාශයේ ගවයින් සදහා ප්‍රතිකාර කිරිම මෙන්ම ගව අභිජනණය කිරිමේ කටයුතු සිදු නොවීම වැනි දුෂ්කරතා රැසකට ගොවීහූ මුහුණ පා සිටිති.
මස්කෙළිය පශු වෛද්‍ය නිලධාරී වරයාට මාස කීපයකට පෙර ස්ථාන මාරුවීම් ලබාදී ඇති අතර ඒ සඳහා අනුප්‍රාප්තික පශු වෛද්‍ය නිලධාරීවරයෙකු මේ දක්වා ලබා නොදීම හේතුවෙන් මස්කෙළිය පශු වෛද්‍ය කාර්යාලය පුරප්පාඩුව පවතී.

උස්බිම් වල ගවයන් වැඩි වශයෙන් ඇති කරන ප්‍රදේශ අතර මස්කෙළිය ප්‍රදේශය ප්‍රමුඛ ස්ථානයක් ගනී. දැනට මේ ප්‍රදේශයේ පශු සම්පත් කටයුතු සොයා බලන්නේ හැටන් පශු වෛද්‍ය නිලධාරීවරයායි. හැටන් සිට මස්කෙළිය නඟරයට කිලෝ මීටර් 19 ක දුරක් පවති. නල්ලතන්නිය හා සාමිමලේ යන ප්‍රදේශ ආවරණය කෙරෙන්නේද මස්කෙළිය කාර්යාලය මගිනි. හදිසි අවස්ථා වලදී හැටන් පශු වෛද්‍ය නිලධාරිවරයා පැමිණීම ප්‍රමාද වීම හේතුවෙන් වටිණා ගව සම්පත තමන්ට අහිමි වෙමින් තිබෙන බවත්, එය ආර්ථික වශයෙන් තමන්ට දරාගත නොහැකි බවත් ගව පාලනයේ නියුතු ප්‍රදේශයේ ජනතාව පෙන්වා දෙති.
මස්කෙළිය පශූ වෛද්‍ය බල ප්‍රදේශයේ පමණක් කිරි ගොවියන් 2500 ක් පමණ සිටිති. ප්‍රදේශයේ දෛනික කිරි නිෂ්පාදනය කිරි ලීටර් විසි දහසක් පමණ වන බවත්, එම තත්ත්වය වැඩි දියුණු කිරිමට ගොවියන් කැමැත්තක් දැක්වුවද අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් නැති නිසා තිබෙණ තත්ත්වය ද අඩු වෙමින් පවතින බව පවසන ගොවි ජනතාව මෙම තත්ත්වය ප්‍රයෝජනයට ගත් ඇතැම් ව්‍යාජ පශු වෛද්‍ය නිලධාරීන් තම ප්‍රදේශයන්හි පශූ සම්පතට හානියක් සිදු කර ඇති බවට චෝදනා කර සිටිති.

එමෙන්ම මස්කෙළිය පශු වෛද්‍ය නිලධාරී කර්යාල බල ප්‍රදේශයේ ගොවිපළවල ගවයින් දස දහසකට අධික පිරිසක් ඇති දැඩි කරති. තමන්ගේ ගවයන්ට වැළඳෙන රෝග සහ අනෙකුත් අවශ්‍යතා සඳහා සේවාව ලබා ගැනීමට මස්කෙළිය ප්‍රදේශයේ පශු වෛද්‍ය නිලධාරියෙකු නොමැතිවීම හේතුවෙන් සතුන් අහිමි වීමේ දැඩි අවධානම ඉහළ ගොස් ඇති බව මෙම කිරි ගොවීහූ කනස්සල්ල පළ කරති.

වැවිලි ව්‍යාපාරයෙන් තම පවුලේ ආර්ථිකය පිරිමසා ගැනීමට නොහැකි ව තිබු නිසා සත්ත්ව පාලනයේ නිරත වූ බවත්, එමගින් තම ආදායම් තත්ත්වය ද ඉහළ ගිය බවත් පවසන මෙම ගොවි ප්‍රජාව එම වකවානුවේ ප්‍රාදේශීය පශු වෛද්‍ය නිලධාරීන් තම සතුන්ගේ අවශ්‍යතා සහ රැකවරණය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම මහත් ආර්ථික සහනයක් වු බවත් පෙන්වා දෙති.
මේ වන විට පශු වෛද්‍ය නිලධාරීන් නොමැති පසුබිමක සිය පවුල් විශාල ආර්ථික අර්බුදයකට ලක් කරමින් වටිනා ගවයින් ලක්ෂ ගණනක් අහිමි කර ගැනීමට සිදුව ඇති බව කියා සිටිති. එබැවින් හැකි ඉක්මනින් තම ප්‍රදේශයට ස්තීර පශු වෛද්‍ය නිලධාරී වරයෙකුගේ සේවය ලබාදී ගව සම්පත බේරා ගැනීමට කටයුතු කරන ලෙස මස්කෙළිය පශු වෛද්‍ය නිලධාරී කොට්ඨා වල ගව අභිජනනය කරන්නන් වගකිවයුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

මේ සම්බන්ධයෙන් මධ්‍යම පලාත් සත්ව හා සෞඛ්‍ය නිෂ්පාදන දෙපාර්තමෙන්තුවේ අධ්‍යක්ෂිකා කුමුදිනි රාජනායක මහත්මියගෙන් කල විමසිමේ දී පැවසුවේ මෙරට දියර කිරි නිෂ්පාදනයේ ඉහලින්ම සිටින්නේ නුවරඑළිය දිස්ත්‍රික්කය.ඒ අතරින් හැටන් ,මස්කෙළිය හා බගවන්තගාව සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාස වල කිරි ගව පාලනය ඉහල මට්ටමක තිබෙනවා .මස්කෙළිය හා බගවන්තගාව කොට්ඨාස වල සතුන් විසි දහසක් පමණ ඇති කෙරෙන අතර ගොවියන් තුන්දහසක් පමණ සිටිනවා.ඒ නිසා තමයි මෙම කොට්ඨාස වලට පශූ වෛද්‍යවරුන් තිදෙනෙක් පමණ සේවයේ යොදවලා ඉහල සේවාවක් ලබා දෙමින් තිබුනේ .

නමුත් රජයේ නව ප්‍රතිපත්තිය අනුව රජයේ සේවකයින් නිවාඩු ලබාගෙන විදේශගත වීමේ ක්‍රියාවලියට පශූ වෛද්‍යවරුන් ද එක්වෙමින් තිබෙනවා .ඒ අනුව මස්කෙළිය හා බගවන්තලාව පශූ වෛද්‍යවරුන් දෙදෙනාද නිවාඩු ලබාගෙන විදේශ ගතවීම නිසා පුරප්පාඩු වි තිබෙනවා.එම ප්‍රදේශ ආවරණ කිරිමට හැටන් පශුවෛද්‍යවරයා අනුයුත්ක කර තිබුනත් පවතින ප්‍රායෝගික ගැටළු නිසා එය දුෂ්කර වී තිබෙනවා.එමෙන්ම සාමාන්‍ය ක්‍රියාවලිය අනුව වසර දෙකකට වරක් පශූ වෛද්‍යවරුන් බදවා ගැනීම සිදුකලත් දැන් එයද ක්‍රියාත්මක නොවන නිසා පුරප්පාඩු වන ප්‍රදේශ වලට පශු වෛද්‍යවරුන් අනුයුක්ත කිරිම ගැටළු සහගත වී තිබෙනවා.

මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක

Scroll to Top