බ්‍රිතාන්‍ය විසින් හඳුන්වා දුන් සෝල්බරි ව්‍යවස්ථාව වෙනුවට 1972 මැයි මස 22 දින ශ්‍රී ලාංකිකයන් විසින් සම්පාදනය කළ ජනරජ ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ දී සම්මත වූ දිනය අදයි.
ඒ අනුව බ්‍රිතාන්‍ය යටත්විජිතයක් වශයෙන් පැවැති ශ්‍රී ලංකාව පූර්ණ වශයෙන් නිදහස ලැබූ දිනය ජනරජ දිනය ලෙස හඳුන්වයි.
මෙම සිදුවීම මෙරට ඉතිහාසයේ වැදගත්ම සන්ධිස්ථානයක් එය සලකනු ලබනවා.
ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් ලෙසත් එහි බුදුදහමට ප්‍රමුඛස්තානයත්, පැහැදිලිවම පිළිගත් ජනරජ ව්‍යවස්ථාව සම්මත වූ දිනයද වන්නේ මෙයයි.
1972 මැයි මස 22 දා අප ප්‍රථම ශ්‍රී ලංකා ජනරජ දිනය සැමරුවේ අති උත්කර්ෂවත් ආකාරයෙනි. රට පුරා සමරු උත්සව, බෝධි පූජා සහ ආශිර්වාද පූජා පැවැත්විණි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නිදහස් පුරවැසියන් වීමේ සතුට සමරමින් ජනතාව කැවුම්, කිරිබත් කා, රතිඤ්ඤා පත්තු කොට, සැණකෙළි පෑත්වූහ. ස්වෛරී රාජ්‍යයක වැසියන් වශයෙන් එදා අපි අනාගතය පිළිබඳ බලාපොරොත්තු ගොන්නක් ගොඩ නඟා ගත්තෙමු.
ඒ හැරුණු විට පාසැල් සිසුන් දැනුවත් කරනු වස් ඔවුන් වෙනුවෙන් රචනා තරග, චිත්‍ර තරග කොතෙකුත් පැවැත්වුණි.
ජනරජ ව්‍යවස්ථාවට අනුව අපි ඒ සියලු බැමි වලින් නිදහස ලැබුවෙමු. 1972 සිට 1977 දක්වාම අප පෙබරවාරි 4 නිදහස් දිනය පසෙක ලා මැයි 22 ජනරජ දිනය නිදහස් දිනය බවට පත් කොට ගනිමින් එදවස උත්කර්ෂවත් ලෙස උත්සවාකාරයෙන් සැමරුවෙමු.
එසේ වෙතත් 1977 බලයට පත් වු රජය ජනරජ දිනය ලොප් කොට දමා නැවත පෙබරවාරි 04 ඉදිරියට ගෙන ආවේය.
එහෙත් අපගේ අසල්වැසි විශාල රාජ්‍යය වූ ඉන්දියාව පවා 1947 අගෝස්තු 15දා ඔවුන්ගේ නිදහස් දිනයද 1950 ජනවාරි 26 දින පූර්ණ නිදහස ලැබූ ජනරජ දිනය ද වෙනුවෙන් ප්‍රීති උත්සව පවත්වයි. දශක සතක් තිස්සේ ඔවුහු එක සේ ම තම රට දැය වෙනුවෙන් ඒ දින දෙකෙහිදී ම හැඟුම්බර වෙති.
1972 දී ශ්‍රී ලාංකේය ජනරජ ව්‍යවස්ථාව ගෙන එන්නට බණ්ඩාරනායක මැතිනියගේ රජයට සහය දුන් දේශපාලකයෝ බොහොමයක් 77 න් පසුව ද කිහිප වතාවක් ම බලයට පත්වූහ. නමුත් පූදුමය නම් ඔවුන්ට පවා මැයි 22 යන සුවිශේෂී දිනය අමතක වී යාම ය.