Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ලෙයින් බිහි වුණු ලෝක කම්කරු දිනය

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ජාත්‍යන්තර කම්කරු දිනය හෙවත් මැයි දිනය අද (01)ට යෙදී තිබේ. සකල ලෝකවාසී වැඩ කරන ජනයා විසින් මෙවර සමරනු ලබන්නේ 137 වන මැයි දිනයයි.

ලෝක කම්කරු දිනය නිමිත්තෙන් මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ සංවිධානය කරන මැයි රැළි, කොළඹ සහ මහනුවර නගර කෙන්ද්‍ර කර ගනිමින් අද (01) පැවැත්වෙයි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මැයි රැළිය අද පස්වරුවේ බොරැල්ල , කැම්බල් පිටියේදී පැවැත්වීමට නියමිත බව පක්ෂ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා සදහන් කළේ ය.

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවැසුවේ, සිය පක්ෂයේ මැයි දින රැළිය කොළඹ, සුගතදාස ගෘහස්ත ක්‍රිඩාංගණයේදී අද පෙරවරුවේ පැවැත්වෙන බවයි.

සමගි ජන බලවේගයේ මැයි දින රැළිය, කොළඹ ඒ.ඊ ගුණසිංහ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

නිදහස ජනතා සභාව සංවිධානය කරන මැයි දින රැළිය අද මහනුවරදී පැවැත්වෙන බව, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසුවේ ය.

ජනතා විමුක්ති පෙරමුණේ මැයි දින රැලිය පැවැත්වෙන්නේ, කොළඹ විහාර මහා දේවි උද්‍යානය අසළදී ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින රැළිය මහනුවරදී පැවැත්වෙයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මැයි දින රැළිය, නුගේගොඩදී පැවැත්වෙන බව පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා සදහන් කළේ ය.

වර්ෂ 1886 මැයි 1 වැනිදා අමෙරිකා එක්සත් ජනපදයේ විවිධ ව්‍යාපාර අංශවල නියැළෙන ශ්‍රමිකයෝ 300,000කට වැඩි පිරිසක් චිකාගෝ නුවර හේමාකට් චතුරස්‍රයට රොක් වූහ. ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම වූයේ දවසේ වැඩ කරන පැය ගණන පැය 8කට සීමා විය යුතු බවය. 40,000ක පමණ පිරිසක් වැඩ වර්ජනයකට ද අවතීර්ණ වූහ. එය දීපව්‍යාප්ත වර්ජනයක් දක්වා දිගු වූ අතර, කම්කරු විරෝධතා ව්‍යාපාරය ද දිග් ගැස්සිණි. මැයි 03 වැනිදා වන විට එය ප්‍රචණ්ඩ අතට හැරෙන තත්ත්වයක් මැකෝටික් කම්හලේදී දිස් විය. ඊට පසු දින එනම් මැයි 4 වැනිදා හේමාකට් චතුරස්‍රයේදී කම්කරුවන්ගේ සාමකාමි රැස්වීමක් පැවැත්වෙමින් තිබිණි. එහිදී උද්ගත වූ තත්ත්වය TIME සඟරාව පසු කලෙක වාර්තා කර තිබූ අතර, එය සැකෙවින් මෙලෙසය. මැයි 04 වැනිදා රාත්‍රී 10 පසුවී මිනිත්තු කිහිපයක් ගත වන විට චිකාගෝ නගරයට කුණාටු තත්ත්වයක් ඇති විය. වැසි ඇද හැලෙමින් තිබියදී හේමාකට් චතුරස්‍ර‍යේ 3000ක පමණ පිරිසක් රැස්ව සිටි නමුදු මේ වන විට එහි ඉතිරිව සිටියේ සිය ගණනකි. ඔවුහු කථිකයන්ට සවන් දෙමින් සිටියහ. එම කථිකයෝ දවසේ වැඩ කරන පැය ගණන පැය 8කට සීමා විය යුතු බවට හඬ නැඟූ අතර, පොලිසිය විවේචනය කළහ. කිසියම් සිද්ධියක් වනු ඇතැයි දැනුණු බැවින් එහි රැඳී සිටි පුරපතිවරයා ද ඒ වන විට නික්ම ගොස් සිටි අතර, ඔහු නින්දට ගොස් තිබිණි. අවසන් කථිකයා සිය කතාව අවසන් කරනවාත් සමඟ පොලිස් නිලධාරීහු 180 දෙනෙක් පමණ දුම්රිය පොළ දෙස සිට එම ස්ථානයට පිවිසි අතර, රැස්වීම නතර කිරීමට අණ ලැබිණි. කථිකයා ඊට ප්‍රතිචාර දැක්වූයේ මෙය සාමකාමි රැස්වීමක් යැයි පවසමිනි. ඒ සමඟම පොලිස් නිලධාරීන් සිටි දෙසින් බෝම්බයක් පුපුරා ගියේය. එම පිපිරීමෙන් පොලිසියේ 67 දෙනෙක් තුවාල ලබා 7 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූ බව වාර්තා විය. ඒ සමඟම පොලිසිය වෙඩි තැබීමට පටන් ගත්තේය. මේ වෙඩි තැබීම්වලින් 200ක් පමණ තුවාල ලැබූ අතර, සය දෙනෙක් ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා විය. හේමාකට් චතුරස්‍ර‍යේ සිදුවීම අමෙරිකා ඉතිහාසයට එක්ව ඇත්තේ ඛේදවාචකයක් ලෙසිනි.

වර්ෂ 1889දී පැවැති අන්තර්ජාතික සමාජවාදී සමුළුවේදී මේ සිද්ධිය ස්මරණය කරමින් මැයි 1 වැනිදා කම්කරුවන් වෙනුවෙන් අන්තර්ජාතික නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළ යුතු බවට තීරණය විය. කෙසේ වුව ද සීතල යුද්ධයේ මුල් අවධියේදීම 1958 ජූලි මස අමෙරිකා ජනාධිපති ඕවිට් ඩී. අයිසන්ගවර් අත්සන් කළ විධානයකින් මැයි 1 වැනිදා ‘පක්ෂපාතිත්වයේ දිනය’ වශයෙන් ප්‍රකාශයට පත් කෙරිණි. ලෝකවාසී කම්කරු ජනයා සමඟ කවර ආකාරයක හෝ සහයෝගිතාවක් පවත්වා ගැනීම වැළැක්වීම එහි අරමුණ වූයේ උග්‍ර කොමියුනිස්ට් විරෝධය ද සමඟය. පක්ෂපාතීත්වය යනුවෙන් මෙහිදී අදහස් කෙරුණේ අමෙරිකාවට පක්ෂපාති වීමය. අමෙරිකාවේ නිදහස හා උරුමය පිළිගැනීමය.

කම්කරු ශ්‍රමය

පැය 8ක වැඩ දිනය වෙනුවෙන් අරගල කිරීමට සිදු වූයේ ඒ වන විට පැය 14, 16 පමණක් නොව පැය 18 සේවා මුර පවා කම්කරුවන් වෙත පැවරී තිබූ බැවිනි. එය පැය 20ක් පමණ වූ අවස්ථා ද වාර්තා වී තිබේ. පැය 8ක වැඩ දිනය වෙනුවෙන් අරගල කිරීමට පෙර දශක කිහිපයකට පෙර පැය 10 සේවා මුර වෙනුවෙන් ද විරෝධතා ක්‍රියාත්මක වී තිබේ.

වෘත්තීය සමිති ව්‍යාපාරයේ ආරම්භය සටහන් වන්නේ ද එම වකවානුවලදීය. ජාතික කම්කරු සංගමය බිහි වූයේ සහ විලියම් එච්. සිල්විස් වැනි කම්කරු නායකයන්ගේ මතු වීම සිදු වූයේ 1860 ගණන්වලදීය. කෙසේ වුව ද ලෝක කම්කරු දිනයට ඍජුව හා සමීපව සම්බන්ධ සිදුවීම 1886 හේමාකට් චතුරස්‍රයේදී ඇතිවූ තත්ත්වයයි. වහලුන්ගෙන් මෙන් කම්කරු ශ්‍රමය සූරා ගැනීම වළකමින් පැය 8ක වැඩ මුරය දිනා ගැනීමට හැකි වීම ලොව පුරා වැඩ කරන ජනයා ලැබූ විසල් ජයග්‍රහණයකි. අමෙරිකාවේ ඇතැම් ප්‍රාන්තවල පැය 8 වැඩමුරය 1860 ගණන්වල අග වන විට පිළිගෙන තිබුණු අතර, ඊට සිල්විස් වැනි කම්කරු නායකයන්ගේ දායකත්වය හේතු වී තිබිණි.

කාල් මාක්ස් ‘ප්‍රාග්ධනය’ ග්‍රන්ථයේ පළමු වෙළුමේ වැඩ දිනය (The Working Day) යනුවෙන් පරිච්ඡේදයක් ද ඇතුළත් කර ඇත. පැය 8 ව්‍යාපාරය ගැන ද එහිදී අවධානය යොමු කර තිබේ. වී. අයි. ලෙනින් විසින් සිරගෙදර සිට ලියන ලද මැයි දින ලියවිල්ල 1896දී පත්‍රිකාවක් ලෙස ප්‍රසිද්ධියට පත් විය. එය කම්හල් 40ක පමණ වැඩ කරන ජනයා අතට පත් කෙරිණි.

පැය 8 වැඩ කරන දිනය සඳහා වූ ඉල්ලීමට අමතරව කම්කරු පංතියේ සහයෝගිතාව යටත් විජිත විරෝධය ආදී තවත් ඉල්ලීම් ද පසුව එක් විය. 1913 මැයි දිනය වෙනුවෙන් රෝසා ලක්සම්බර්ග් ලියූ ලිපියක දැක්වෙන පරිදි මැයි දින සැමරුමේ ප්‍රධාන හා විශිෂ්ට අදහස නම් එය නිර්ධන පාංතික ජනයාගේ ස්වාධීන ක්‍රියාකාරීත්වයක් වීමයි. එමෙන්ම එය මිලියන සංඛ්‍යාත කම්කරු ජනයාගේ දේශපාලන ක්‍රියාන්විතයක් ද වේ. කෙසේ වුව ද වර්තමානයේද දැකිය හැකි පරිදි මැයි දිනය හා දේශපාලන පක්ෂ අතර ඇත්තේ ද සමීප සබැඳියාවකි. තම තම දේශපාලන න්‍යාය පත්‍රවලට අනුව හා සටන් පාඨ ඔස්සේ මැයි දිනය සැමරීම ප්‍රවණතාව වී ඇත. වෘත්තීය සමිති ව්‍යාපාරය ද මුළුමනින්ම පාහේ පක්ෂ දේශපාලනය සමඟ ගැට ගැසී ඇති අතර, පක්ෂ වුවමනාකම්වලට අනුව මෙහෙය වෙමින් තිබේ. මැයි දිනය සැමරීම දේශපාලන පක්ෂ විසින් නොකළ යුතු බවත් මින් අදහස් කෙරෙන්නේ නැත. අන්තර්ජාතික වශයෙන් ද මේ තත්ත්වය මෙලෙසය. එසේ වුව ද පටු දේශපාලන සටන් පාඨවලට කොටු වීම තුළ වැඩ කරන ජනයාගේ සැබෑ අයිතීන් යටපත් වීම සිදු විය හැකිය.

1980 දශකය අගභාගයේදී සෝවියට් සංගමය බිඳ වැටීමෙන් පසුව සීතල යුද්ධය ද නිමාවට පත් වූ අතර, තවදුරටත් ලෝකයේ බළ කඳවුරු දෙකක් දක්නට නොමැත. ධනවාදී කඳවුරට නායකත්වය දුන් අමෙරිකාව ලෝක බලවතා ලෙස සිය ආධිපත්‍ය පැතිර වූ නමුත් මේ වන විට බල කේන්ද්‍ර කිහිපයක් විසින් හසුරුවන ලෝක රටාවක් බිහි වී තිබීම ප්‍රායෝගික යථාර්ථයයි.

රැකියා වියුක්තිය

වැඩ කරන ජනයා ඉදිරිපිට එදා පැවැති අභියෝග එලෙසම නැතත් අලුත් අභියෝගවලට විසඳුම් සෙවීමට සිදුව ඇත. මෑතකාලීනව කොවිඩ් 19 ගෝලීය වසංගතයත් සමඟ ලොව බලවත් රටවල පවා රැකියා සුරක්ෂිතතාව විශාල වශයෙන් අභියෝගයට ලක් විය. අමෙරිකාවේ පමණක් රැකියා වියුක්තිය ඉහළ ගියේ ලක්ෂ ගණනිනි. වසංගත සමයේ රැකියා අහිමි වූ ප්‍රමාණය මිලියන සංඛ්‍යාතය. බොහෝ ශ්‍රමිකයන්ට සම්පූර්ණ වැටුප් ලබා ගැනීමට නොහැකි වූ අතර, අඩ වැටුප් ගෙවන ලදී. සේවක වරප්‍රසාද මෙන්ම සුබ සාධනයට ද බලපෑම් ඇති විය. මේවා මතු වූයේ ප්‍රායෝගික තත්ත්ව වශයෙන් වුව ද වර්තමානයේදී කම්කරු පංතියට අරගල කිරීමට සිදුව ඇත්තේ අලුත් අභියෝග සමඟය. අරගල යනුවෙන් ‘වැඩ වර්ජන’ යන්නම අදහස් නොකෙරෙන බව දියුණු කම්කරු ව්‍යාපාර පිළිබඳ හෝ සංස්කෘතියක් පිළිබඳ ගොඩනැඟී ඇති අදහස් හා මතවාද ඔස්සේ පැහැදිලි කරගත හැකි වනු ඇත. ‘වැඩ වර්ජන’ යනු විරෝධතාවයේ එක් උපකරණයකි. වර්ජන කළ යුතු නොකළ යුතු අවස්ථාව මෙන්ම තත්ත්ව පිළිබඳ පවා පුළුල් දැක්මක් තිබිය යුතුය.

මැයි 1 වැනිදා ලෝක කම්කරු දිනය වශයෙන් මෙන්ම ඇතැම් රාජ්‍යයන් වසන්තයේ ඇරඹුම වශයෙන් ද, මල් දිනය (Flowers Day) වශයෙන් ද සමරනු දැකිය හැකිය. රුසියාව පවා එය වසන්තය ලෙස පිළිගනිමින් සමරනු දැකිය හැකිය. මේ කාරණා දෙක හේතුවෙන්ම මැයි 1 වැනිදා එරට නිවාඩු දිනයකි. එදින රුසියානුවෝ විනෝදයෙන් හා විවේකයෙන් ගත කරති. රුසියානු පිරිමි, කතුන්ට ටියුලිප් මල් තිළිණ කරනු ද මවුපියෝ තම දරුවන්ට බැලුන්, අයිස්ක්‍රීම් වැනි දේ රැගෙන දෙමින් ඔවුන් සතුටු කරන අයුරු ද මැයි 1 වැනිදා දැක ගත හැකිය. සෝවියට් සංගමය බිඳවැටීමෙන් පසු මැයි 1 වැනිදාට එහි තිබූ සටන්කාමි බව ලිහිල් වී ඇතත් තවමත් එය එලෙස සමරනු ද දැකිය හැකිය. ඊට දේශපාලන පක්ෂ මෙන්ම වෘත්තීය සමිති ද එක් වෙති.

ඉන්දියාව මෙවර මැයි දිනය සමරන්නේ 99 වැනි වතාවටය. එනම් ලබන වසරට එරට මැයි දින සැමරුම්වල සිය වැනි සංවත්සරය යෙදේ. පළමු මැයි දිනය චෙන්නායිහිදී පැවැත්වී ඇත්තේ 1923 මැයි 1 වැනිදාය. එය සංවිධාන කර තිබුණේ කම්කරු කිසාන් පක්ෂයයි. මැයි 1 වැනිදා එරට ද නිවාඩු දිනයකි.

ශ්‍රී ලංකාවේ මැයි 1 වැනිදා නිවාඩු දිනයක් බවට පත් වූයේ 1956 පෙරළියෙන් අනතුරුවයි. ඇතැම් වකවානුවල මැයි දිනය සැමරීම මෙරට ද තහනම් විය. තහනම නොතකා මැයි දිනය සැමරූ ජනයාට වෙඩි තැබීමට ද සිදු විය. මෙරට පළමු මැයි දින සැමරුම සිදුව ඇත්තේ 1927 වසරේදීය. එනම් මෙවර එය සැමරෙන්නේ 95 වැනි වතාවටයි. නිවාඩු දිනය ලැබුණේ එම පළමු සැමරුමෙන් දශක 3කට පසුවය.

කම්කරු පංතිය හෝ නිර්ධන පංතිය යනුවෙන් හැඳින්වුණ ද ලොව දියුණු රටවල කම්කරු පංතිය හා සංවර්ධනය වෙමින් පවත්නා රටවල කම්කරු පංතිය ඇති වෙනස පුළුල්ය. ඔවුන් එක් පංතියක් නියෝජනය කරන්නේ වුව ද ආදායම් හා ජීවන තත්ත්ව අතින් සැලකිය යුතු වෙනස්කම් තිබේ. අද වන විට මැයි දිනය විග්‍රහ කරගත යුතුව ඇත්තේ මෙවැනි වෙනස්කම් ද සැලකිල්ලට ගනිමිනි. විශේෂයෙන් බියකරු ගෝලීය වසංගතයකට පසුව නිර්මාණය වී ඇති නව සාමාන්‍ය තත්ත්වය යටතේ මෙන්ම අපට මුහුණ දීමට සිදු වන එම පශ්චාත් කොවිඩ් යුගයේදී වැඩ කරන ජනයාගේ කාර්යභාරය, නියෝජනය, අයිතිවාසිකම් ආදිය දෙස නව මානයන්ගෙන් බැලීමට සිදු වනු ඇති බව පැහැදිලි කාරණයකි. එම වෙනස්කම් නොතකා හරිමින් ඉදිරිය ගැන සිතන්නට නොහැකි වනු ඇත.

ධම්මික සෙනෙවිරත්න (dinamina)

Scroll to Top