Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

මැයි මාසයේ ගංවතුර අවදානමක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

නිරිතදිග මෝසම් තත්ත්වයත් සමග මැයි මාසයේදී කැලණි ගං ද්‍රෝණියේ ගංවතුර තත්ත්වයක් බලාපොරොත්තු වියහැකි බැවින් ඊට කල් ඇතිවම සූදානම් වන ලෙස කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්ට සහ ආපදා කළමනාකරණ අංශ නිලධාරීන්ට කොළඹ දිස්ත්‍රික් ලේකම් කේ.ජී.විජේසිරි ඊයේ (27) දැනුම් දුන්නේය.

කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ පෙරවරුවේදී පැවැති අතර,දිස්ත්‍රික් ලේකම්වරයා එහිදී මේ බව පැවැසුවේය.

හදිසි ආපදා තත්ත්වයන්ට ප්‍රතිචාර දැක්වීම සඳහා ආපදා කළමනාකරණ අංශ සූදානමින් සිටිය යුතු බවද දිස්ත්‍රික් ලේකම්වරයා කීවේය. මෙහිදී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ කොළඹ දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂවරයා කියා සිටියේ ඉදිරි මෝසම් වැසි සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් මැයි මස 04 වැනිදා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේදී පැවැත්වීමට නියමිත බවත්,ගංවතුර වැනි හදිසි ආපදා තත්ත්වයන් වලදී කටයුතු කිරීමට ත්‍රිවිධ හමුදාව සහ ආපදා කළමනාකරණ අංශ සූදානමින් සිටින බවය.

එමෙන්ම,ගංවතුර අවස්ථාවන්හිදී ආපදාවලට ලක්වන පුද්ගලයන් බේරාගැනීමේ සහ සහන සැලසීමේ කටයුතු සඳහා අවශ්‍ය බෝට්ටු යුද හමුදා කඳවුරු වලට බෙදාදී තිබෙන බවද සහකාර අධ්‍යක්ෂවරයා කීවේය.

කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රදීප් උඳුගොඩ කියා සිටියේ ගංවතුර තර්ජනයට ලක්වන පුද්ගලයන්ට ආරක්ෂිත ස්ථානවලට යොමු කිරීම ඇතුළු කටයුතුවලදී පළාත් පාලන ආයතනවලට විශාල කාර්යභාරයක් පැවරී තිබෙන බැවින්,කල් ඇතිවම ආරක්ෂිත ස්ථාන ආදිය සූදානම් කිරීමට පළාත් පාලන ආයතනවල විශේෂ කොමසාරිස්වරුන් කටයුතු කළ යුතු බවය.

Scroll to Top