රිළවුන් හා වඳුරන් පලවා හරිමින් වගාවන්ට සිදුවන හානිය වළක්වා ගැනීම සඳහා නව උපකරණයක් නිෂ්පාදනය කර ඇති අතර මේ වන විට එහි පර්යේෂණ කටයුතු ආරම්භ කර තිබේ.
ඉංජිනේරු මනතුංග ශෙරාන් දීප්ති ජීවකාන්ත ද සිල්වා මහතා විසින් නිෂ්පාදනය කර ඇති මෙම උපකරණය පිළිබඳව ලුණුවිල ජාතික පොල් පර්යේෂණ ආයතනය මේ වනවිට එහි සාර්ථකත්වය පිළිබඳව පරීක්ෂා කිරීමේ කටයුතු නියමු ව්‍යාපෘතියක් ලෙස සිදු කරනු ලැබේ.
ලංකාවේ රිළවුන්ගෙන් හා වඳුරන්ගෙන් සිදුවන හානිය වළක්වා ගැනීම සඳහා නිෂ්පාදිත නව උපකරණය පිළිබඳව අදහස් දැක්වු ඉංජිනේරු මනතුංග ශෙරාන් දීප්ති ජීවකාන්ත ද සිල්වා මහතා,
“රිළවුන් වඳුරන් පලවා හරින උපකරණය නිෂ්පාදනය කළේ ලුණුවිල ජාතික පොල් පර්යේෂණ ආයතනයේ ඉල්ලීම මතයි. මම මීට පෙර වනඅලි පලවා හරින උපකරණයක් නිෂ්පාදනය කළා. එය දැකලා වෙන්න ඇති රිළවුන් වඳුරන් පලවා හරින උපකරණයක් නිෂ්පාදනය කරන්න ඉල්ලීමක් කරන්න ඇත්තේ. ලංකාවේ පොල් වගාවෙන් 30% කට වැඩි ප්‍රමාණයක් රිළවුන් වඳුරන් විසින් විනාශ කරනවා. ඒ නිසා ඔවුන් පලවා හරින උපකරණයක් නිෂ්පාදනය කරන්න කියා ඉල්ලීමක් කළා. ඒ අනුව මා විසින් ඒ සඳහා පර්යේෂණ සිදුකර උපකරණයක් නිෂ්පාදනය කරනු ලැබුවා. පොල් පර්යේෂණ ආයතනය මේ උපකරණයේ සාර්ථකත්වය පිළිබඳව පරීක්ෂා කිරීමේ කටයුතු නියමු ව්‍යාපෘතිය ලෙස මේ වනවිට සිදු කරනවා.
මෙම උපකරණයෙන් කරන්නේ රිළව් වඳුරන්ට ධ්වනි ශබ්ද තරංගයක් නිකුත් කිරීමයි. ඒ ශබ්දය ඔවුන්ට අහන් ඉන්න අමාරුයි. එවිට ඔවුන් ඒ ප්‍රදේශය අතහැර පලා යනවා. එම ශබ්දය ඔවුන්ගේ කනෙහි දෝංකාර දෙනවා. එම නිසා කනෙහි දෝංකාරය අවසන් වන තෙක් ඔවුන් ගමන් කරනවා. බොහෝවිට යළි ආපසු එන්නේ නෑ.
දැනට මේ උපකරණය පරීක්ෂණ කිරීමේ කටයුතු මාස කිහිපයක සිට කර ගෙන යනවා. ඒ සඳහා අනුමැතිය කඩිනමින් ලැබෙයි කියා අපේක්ෂා කරනවා. එහෙම වුවහොත් රිළවුන්ගෙන් වඳුරන්ගෙන් ලංකාවේ පොල් ඇතුළු වගාවන්ට වන හානිය සතුන්ටද කිසිදු හානියක් නොමැතිව වළක්වා ගැනීමට හැකියාව ලැබෙනවා. නමුත් එම උපකරණය නිෂ්පාදනය කර ව්‍යාප්ත කරන්නට ආයෝජකයෙක් ඉක්මනින් ඉදිරිපත් වනවා නම් ලංකාවේ රිළවුන්ගෙන් හා වඳුරන්ගෙන් වන හානිය වළක්වා ගැනීමට විශාල සහනයක් සැලසෙනවා.
මිනිසුන් මෙතෙක් භාවිත කළේ සතුන්ට වෙඩි තැබීම, උගුල් ඇටවීම, වස දීම ඇතුළු ක්‍රමවේදයන්. එම ක්‍රම භාවිතයෙන් මෙම ගැටලුවට කවදාවත් විසඳුම් ලැබෙන්නේ නෑ. එම නිසා යල් පැන ගිය ක්‍රමවේදයන්ට වඩා නව තාක්ෂණය යොදා ගනිමින් මෙම නිර්මාණය සිදු කළ බව ඉංජිනේරු මනතුංග ශෙරාන් දීප්ති ජිවකාන්ත ද සිල්වා මහතා සඳහන් කළේය.
මෙම නවතම උපකරණය පිළිබඳව ලුණුවිල ජාතික පොල් පර්යේෂණ ආයතනයේ වගා සංරක්ෂණ අංශ ප්‍රධානී රොෂාන් ද සිල්වා මහතා දැක්වූයේ මෙවන් අදහසක්,
“ශබ්ද තරංග නිකුත් කරන උපකරණයේ සාර්ථකත්වය පිළිබඳව සොයා බැලීම රිළවුන් හා වඳුරන් බහුලව ගැවසෙන කෑගල්ල, පුත්තලම පල්ලව, වනාතවිල්ලුව, පොල්ගහවෙල ඇතුළු ප්‍රදේශ කිහිපයක වගාවන්වල සිදුකළ පරීක්ෂණ කටයුතුවලදී මෙහි සාර්ථකත්වයක් දකින්නට හැකි වුණා. අප මෙහි කොපමණ සාර්ථකත්වයක් තිබෙනවාද යන්න තවදුරටත් සොයා බැලීම සිදු කරනවා. මෙම උපකරණය භාවිතා කරමින් වඳුරන් රිළවුන් පලවා හැරි ඇතැම් ප්‍රදේශවල ජනතාවද මෙහි සාර්ථකත්වය පිළිබඳව යහපත් ප්‍රතිචාර දැක්වුවා. සතුන්ට ද හිංසාවක් නොමැති, වගාවන් ද ආරක්ෂා කර ගත හැකි මෙම උපකරණයේ සාර්ථකත්වය පිළිබඳව පරීක්ෂණ සිදුකරන බවත් මෙම උපකරණය සාර්ථක වෙයි කියා විශ්වාසයක් පවතින බව ද රොෂාන් ද සිල්වා මහතා සඳහන් කළේය.