මස්කෙළිය, බ්‍රවුන්ලෝ තේ වතුයායේ, පුල්ලුමලේ කොටසේ 2017වසරේදී සිදුවූ නාය යෑමෙන් අවතැන්ව සිටින පවුල් 07 ක් සදහා ස්ථීර වතු නිවාස ඉදිකර නොදීම හේතුවෙන් තමන් දැඩි අසීරුතාවයකට එම වතු කම්කරු ප්‍රජාව පවසති.
මස්කෙළිය, මාවුස්සාකැලේ ජලාශය ඉස්මත්තේ පිහිටි බ්‍රවුන්ලෝ තේ වතුයාය මස්කෙළිය වැවිලි සමාගම යටතේ පාලනය කෙරේ.
මෙම වතුයායේ, පුල්ලුමලේ කොටස පිහිටි ප්‍රදේශයට ඇද හැළුන ධාරා නිපාත වර්ෂාවත් සමග 2017.09.08 වන දින වතු නිවාස වලට ඉහලින් පිහිටි කඳුයායේ කොටසක නාය යෑමක් සිදු විය. නාය ගිය ස්ථානයේ පිහිටි විශාල ගල් පර්වතයක් කඩා වැටීමේ දැඩි අවධානම් තත්වයක එවක පැවති නිසා නාය ගිය ස්ථානයට පහළ වතු නිවාසවල පදිංචිව සිටි පවුල් 07 ක පාසල් ළමයින් ඇතුළු සාමාජිකයින් 20 දෙනෙක් නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකයේ උපදෙස් අනුව එම ස්ථානයෙන් වතු පාලනාධිකාරිය මගින් ඉවත් කර බ්‍රවුන්ලෝ වතුයායේම ආරක්ෂක බිම් කොටසක තාවකාලික පදිංචිය සඳහා නිවාස ඉදිකිරීමට අවසර ලබා දී තිබුණි.
එම තාවකාලික වතු නිවාසවල පදිංචි වතු කම්කරු ප්‍රජාව අප සමග කියා සිටියේ, වතු පාලනාධිකිරිය මගින් තමන්ට තාවකාලිකව නිවාස ඉදිකර ගැනීමට දැනට පදිංචිව සිටින සිථානය ලබා දී මේ වන විට වසර 06 කට වැඩි කාලයක් ගතව ඇති බවය. එම තාවකාලික කුඩා නිවාස දැඩි ලෙස අබලන්ව පවතින බවත්, වැසි දිනවල වාසය කිරීමට නොහැකි තත්වයක් උදවී ඇති බවත් කියා සිටිති. එම නිවාස සඳහා තාවකාලික විදුලිය ලබා දුන් බවත් එම විදුලි සැපයුම් දැඩි අනාරක්ෂිත තත්වයක පවතින බවත් කියා සිටිති. පානීය ජලය, මාර්ග පහසුකම් ඇතුළු ප්‍රමාණවත් පොදු පහසුකම් නොමැති කමින් තමන් දැඩි පීඩාවකට පත්ව සිටින බව පෙන්වා දෙන එම වතු කම්කරු ජනතාව, පාසල් හා ළදරු පාසල් යන තම දරුවන් මෙම තත්වයෙන් බලවත් අපහසුතාවයකට පත්ව සිටින බවද පැවසූහ.
තමන් පත්ව සිටින අපහසුතාවය සම්බන්ධව වතු පාලනාධිකාරයට කීප වරක් පැවසුවද මේ දක්වා විසඳුමක් ලැබී නොමැති බවත්, තමන්ට ස්ථීර නිවාස ඉදිකිරීම සඳහා ආරක්ෂිත භූමියක කඩිනමින් ඉඩම් ලබා දෙන ලෙසත් එම කම්කරු ප්‍රජාව වැඩිදුරටත් වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටිති.
මේ සම්බන්ධව වතුකරයේ වෘත්තීය සමිතියක් වන ලංකා රතු කොඩි සංගමයේ සභාපති සෙල්ලයියා සිවසුන්දරම් මහතා මෙසේ පැවසීය.
“බ්‍රවුන්ලෝ තේ වතුයායේ කම්කරු නිවාස සම්බන්ධව ගැටළුවට විසඳුම් ඉල්ලමින් වතු පාලනාධිකාරිය සමග කීප වරක් සාකච්ඡා කළා. ලිඛිතව දැණුම්දීම් කළා. අනාරක්ෂිත කුඩා නිවාස කඩා වැටීමට ආසන්නව පවතිනවා. තාවකාලික විදුලි සැපයුම් නිසා නිවැසියන්ගේ ජීවිත පවා දැඩි අවධානම පවතිනවා. ආපදා කළමණාකරණ ඒකකයට හා ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට ලිඛිතව දැණුම් දී තිබෙනවා. මේ දක්වා පිළිතුරක් ලැබී නෑ. හැටන් කම්කරු කාර්යාලයට පැමිණිළි කර තිබෙනවා. එහිදී සාකච්ඡාවන් සඳහා තුන් වරක් කැඳවීම් කළද වතු පාලනාධිකාරිය සහභාගී වුණේ නෑ. විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා මස්කෙළිය වැවිලි සමාගමේ නියෝජ්‍ය සභාපතිරයාටද ලිඛිතව දැණුම් දුන්නා.තවම විසදුමක් නෑ. රටට විදේශ විනිමය ලබා දෙන මෙම අහිංසක වතු කම්කරුවන් සම්බන්ධව වතු පාලනාධිකාරිය හා වගකිවයුත්තන් එම ජනතාවට සාධාරණය ඉටු කළ යුතුයි.”
මේ සම්බන්ධව අප බ්‍රවුන්ලෝ තේ වතුයායේ කළමණාකාර කණිෂ්ක ගුණසේන මහතාගෙන් කළ විමසුකදී හෙතෙම කියා සිටියේ, වතු වැවිලි භාරය මගින් වතු නිවාස සාදා දීම සඳහා ආපදා සිදුවූ කාලයේම වැවිලි භාරයට වාර්තා ලබා දී ඇති බවය. පසුගිය වකවානුවේ කොරෝනා ප්රශ්නය හා රජයන් වෙනස් වූ නිසාත් එම කටයුතු ප්‍රමාධ වූ බව පවසන කණිෂ්ක මහතා, අඩක් නිම කර ඇති නව නිවාස ඉදිකිරිමේ ව්‍යාපෘතියේ එම නිවාස සඳහා මුදල් අනුමත වී ඉදිරි කටයුතු කරගෙන යන බවත්ය. නාය යාම නිසා ඉවත් කළ නිවාස ඉදිකර දීම ඊළඟ පියවරේදී සිදු කරන බව වතු වැවිලි භාරය මගින් දන්වා ඇති බවත්, වතු කම්කරුවන්ට ඉඩම් ලබා දිම කළ හැකි වුවත්, පවතින ආර්ථික අපහසුතාවයන් හමුවේ නිවසක් සාදා ගැනීම අසීරු තත්වයක පවතින බවය. ඉදිරියේදී මෙම නිවාස ඉදිකිරීම වැවිලි භාරය මගින් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව වතු අධිකාරි කණිෂ්ක මහතා වැඩිදුරටත් පැවසීය.
සටහන හා ඡායාරූප-මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක