දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය ගැන අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කලේ, නැගෙනහිර, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, මොනරාගල, හම්බන්තොට ඇතුළු දිස්ත්‍රික් කිහිපයකත් එම තත්ත්වය පවතින බවයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලින්ද මිල්ලන්ගොඩ මහතා,
“මේ කියන ඇඟට දැනෙන උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බවට අපේක්ෂා කරනවා. ඒ අනුව එම ප්‍රදේශවල ජනතාවට එළිමහනේ කටයුතු කිරීමේ දී අධික වෙහෙසකර කටයුතුවලින් වැළකී ඉන්නවා නම් හොඳයි. ඒ වගේම ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම වැනි සෞඛ්‍ය අංශවලින් ලබාදී ඇති උපදෙස් අනුව කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා.”
අධික උෂ්ණත්වය හේතුවෙන් ගවයන් හා එළුවන් වැනි නිදැල්ලේ හැසිරෙන සතුන්ගේ ජීවිතවලට දැඩි සෞඛ්‍යමය අවදානමක් මතුව ඇතැයි සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.
මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන එම සතුන් සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කරන ලෙසටත් ඒ සම්බන්ධයෙන් ගොවීන්ට උපදෙස් නිකුත් කරන ලෙසටත් පළාත් අධ්‍යක්ෂවරුන්ට දැනටමත් උපදෙස්දී ඇති බවත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය සඳහන් කරයි.
එමෙන්ම නිදැල්ලේ හැසිරෙන සතුන් අධික උෂ්ණත්වය හේතුවෙන් මියයෑමට පවා ඉඩ ඇති බව ඇය වැඩිදුරටත් සඳහන් කළා.
අධික උෂ්ණත්වය හේතුවෙන් ගවයන් ඇතුළු නිදැල්ලේ හැසිරෙන සතුන් හොඳින් වාතාශ්‍රය ලැබෙන ආවරණය සහිත මෙන්ම ජල මූලාශ්‍ර සහිත ස්ථානවල රැඳවීමට පියවර ගන්නා ලෙස ගොවීන්ට උපදෙස් නිකුත් කර ඇතැයි සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කලේ,
අධික උෂ්ණ සහගත කාලගුණය හේතුවෙන් සතුන්ට පැය 24 පුරාම පානය කිරීම සඳහා ජලය සැපයිය යුතු අතර අධික උෂ්ණත්වය පවතින අවස්ථාවල සතුන් ජලයෙන් තෙමීමද වැදගත් බවයි.
එමෙන්ම අධික උෂ්ණත්වය හේතුවෙන් කිරි නිෂ්පාදනයේ අඩුවීමක් ඇතිවිය හැකි බවත් සතුන් විවිධ ලෙඩ රෝගවලට ගොදුරුවී මරණය පවා සිදුවිය හැකි අතර උතුර, උතුරුමැද, වයඹ, ඌව සහ දකුණු පළාත්වල කිරි ගොවීන් මේ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුතු බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.