රුසියාව – යුක්රේනයට පහර දී අදට (24) වසරක් සපිරෙනවා.
පහර දීම හෙළා දකිමින් සහ යුක්රේනයෙන් හමුදාව ඉවත් කරගන්නා ලෙස ඉල්ලමින් නිව්යෝක් හී ජගත් මහ මණ්ඩලයේ දී ඊයේ යෝජනාවක් ද සම්මත කරගැනුනා.
ඊට පක්ෂව ඡන්ද 141ක් ලැබුණු අතර රුසියාව ඇතුළු රටවල් 7ක් විරුද්ධව ඡන්ද ප්‍රකාශ කළා.ශ්‍රී ලංකාව ඇතුළු රටවල 32ක් ඡන්දය දීමෙන් වැළකීසිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඊට ඉන්දියාව, චීනය, ඉරානය, දකුණු අප්‍රිකාව ද ඇතුළත්.
රුසියාව සමඟ යෝජනාවට විරුද්ධව ඡන්දය භාවිතා කළේ, බෙලරුස්, උතුරු කොරියාව, එරිත්‍රියාව, මාලි, නිකරගුවා සහ සිරියාවයි.
පසුගිය 2022 වසරේ පෙබරවාරි 24 වන දා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ගේ නියෝග අනුවයි එරට ආරක්ෂක අංශ යුක්රේන ආක්‍රමණය සිදු කරනු ලැබුවේ.
බොහෝ විශ්ලේෂකයින් මත පළ කර තිබුණේ රුසියාවට එරෙහි යුක්රේන ප්‍රතිරෝධය දින කිහිපයකින් බිඳ වැටෙනු ඇති බවයි.
එහෙත් වසරක් පුරා, යුක්රේන හමුදාව මෙම බලවේගයට මුහුණ දී ඇති අතර, රුසියානුවන්ගේ ආරම්භක ජයග්‍රහණ ආපසු හරවා යමින්, Donbas කලාපයේ බලය මේ වන විට යුක්රේනය සතු වී තිබෙනවා.
දෙවන ලෝක යුද්ධය අවසන් වීමෙන් පසු සිදු වූ දැවැන්තම යුරෝපීය ආක්‍රමණය ලෙසට මෙය සැලකෙන අතර මේ වන විට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් යුක්රේනයට සොල්දාදුවන් 200,000කට වැඩි පිරිසක් යවා ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.
එක්සත් ජාතීන්ගේ ඇස්තමේන්තුවලට අනුව මෙම යුද්ධයෙන් අවම වශයෙන් සිවිල් වැසියන් 7,199ක් මිය ගොස් තවත් දහස් ගණනක් තුවාල ලබා තිබෙනවා.
සමූහ ඝාතනයන් සිදු වූ බව කියන යුක්‍රේන මරියුපෝල් නගරයේ නගරාධිපතිවරයා කියාසිටියේ එම ප්‍රදේශයේ පමණක් පුද්ගලයන් 21,000ක් මිය ගොස් ඇති බවයි.
වසරකට ආසන්න කාලයක් පවතින ගැටුම් හමුවේ මිලියන 13 කට අධික ජනතාවක් විදේශයන්හි සරණාගතයන් බවට පත් කර හෝ යුක්රේනය තුළ ම අවතැන් ව සිටිනවා.
එම වසරේ මාර්තු 2 වනදා රුසියාව Kherson නගරයේ පාලනයට නතු කර ගත් අතර එම දිනවලව් යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරය ඇතුළු විශාල ප්‍රදේශයක ද බලය තහවුරු කර ගැනීමටයි රුසියානු ආරක්ෂක අංශ සමත් වුණේ.
මාර්තු 16 වන දින, රුසියාව සිවිල් වැසියන් ද සිටි වරාය නගරයක් වන Mariupol හි රඟහලකට පහර දුන් අතර, එම ප්‍රහාරයෙන් මිනිසුන් සිය ගණනක් මරණයට පත් වුණා.
ලෝකයේ සාමූහික හෘදසාක්ෂියට “අපහාසයක්” ලෙසටයි ජගත් මහා ලේකම්වරයා රුසියානු ආක්‍රමණය හෙළා දැක ඇත්තේ.
මේ අතර ඇමරිකා ජනාධිපති ජෝ බයිඩන් පසුගියදා අනපේක්ෂිත ලෙස යුක්‍රේනයේ කියෙව් අගනුවර සංචාරයක ද නිරත වුණා.
ජනාධිපතිවරයාගේ සංචාරය, යුක්‍රේනයට උදව් කිරීමට බයිඩන් පරිපාලනයේ කැපවීම පිළිබඳව රුසියාව වෙත නිකුත් කරන සංඥාවක් ලෙසට ද සැලකෙනවා.