Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

විදුලි බිල 66% කින් වැඩි කිරිම අසාධාරණයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මාසික විදුලි බිල 66% කින් වැඩි කිරිම තමන්ට දරාගත නොහැකි බව විදුලි පාරිභෝගිකයන් පවසති.දැනටමත් මාසික විදුලි බිල ඉහල මට්ටමක පවතින බවත්, එම විදුලි බිලට තවත් 66% කින් විදුලි බිල වැඩිවුවහොත් එය තමන්ට දරාගත නොහැකි බවයි පාරිභෝගිකයන් කියා සිටින්නේ.විදුලි බිල වැඩිවිමත් සමග අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලද ඉහල යන බවයි පාරිභෝගිකයන් වැඩිදුරටත් කියා සිටියේ.

විදුලි ගාස්තු වැඩි කිරීමට ගත් තීරණයට එරෙහිව කටයුතු කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසනවා. එහි කැදවුම්කරු රංජන් ජයලාල් පැවසුවේ ලංකා විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති සහ තවත් වෘත්තීය සමිති කිහිපයක් රැස්වී ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි.

විදුලිබල මණ්ඩලය මීට පෙර කර තිබූ විදුලි ගාස්තු සංශෝධනයට අනුව මුල් ඒකක 30ට අදාළව දැනට එක් ඒකකයක් සඳහා අය කරන රුපියල් 8ක ගාස්තුව රුපියල් 30 දක්වා වැඩි වනවා. ඒකක 31 සිට 60 දක්වා දැනට එක් ඒකකයකට අය කරන රුපියල් 10ක ගාස්තුව වැඩිවන්නේ රුපියල් 37 කින්. ඒකක 61 සිට 90 දක්වා කාණ්ඩය යටතේ දැනට අය කරන රුපියල් 16 ක ගාස්තුව රුපියල් 42 දක්වා වැඩි වනවා.

ඒකක 91 සිට 120 දක්වා කාණ්ඩයට සහ ඒකක 121 සිට 180 දක්වා කාණ්ඩයට දැනට අය කරන රුපියල් 50ක ගාස්තුව මෙන්ම ඒකක 181ට වැඩි සෑම ඒකකයක් සඳහා දැනට අය කරන රුපියල් 75ක ගාස්තුවේ කිසිදු වෙනසක් සිදුවන්නේ නැහැ.

එමෙන්ම මුල් ඒකක 30 සඳහා ස්ථාවර ගාස්තුව රුපියල් 400 දක්වාත්, ඒකක 31 සිට 60 දක්වා කාණ්ඩයේ ස්ථාවර ගාස්තුව රුපියල් 550 දක්වාත් ,ඒකක 61 සිට 90 දක්වා කාණ්ඩයේ ස්ථාවර ගාස්තුව රුපියල් 650 දක්වාත් වැඩි කර තිබෙනවා. එමෙන්ම ඒකක 91 සිට 120 දක්වාත් ඒකක 121 සිට 180 දක්වාත් ස්ථාවර ගාස්තුව වැඩිවී ඇත්තේ රුපියල් 1500 කින්. ඒ අනුව කිසියම් නිවසක ඒකක 90 ක් භාවිත කළහොත් ආසන්න වශයෙන් එම නිවසට රුපියල් 3,700 කට අධික විදුලි බිලක් ලැබෙනු ඇති බවයි පැවසෙන්නේ.

ඉකුත් සමයේ දැඩි විරෝධයක් එල්ලවුවද ආගමික ස්ථාන හා පුණ්‍යාගාමික ස්ථාන සඳහා වන විදුලි ගාස්තුවද වැඩිකර තිබෙනවා. ඒ අනුව පළමු ඒකක 30 සඳහා ඒකකයකට අයකළ රුපියල් 08ක ගාස්තුව රුපියල් 30 දක්වා වැඩි කෙරුණා. ඒකක 31 සිට 90 දක්වා කාණ්ඩය යටතේ රුපියල් 15ක්ව පැවති ඒකකයක මිල රුපියල් 37ක් දක්වා වැඩි කර තිබෙනවා. ඒකක 180ට වැඩි සෑම ඒකකයකටම රුපියල් 32ක් වෙනුවට රුපියල් 50ක් අය කෙරෙනු ඇති.

ආගමික ස්ථාන හා පුණ්‍යායතන සඳහා මුල් ඒකක 30ට අය කළ රුපියල් 90ක ස්ථාවර ගාස්තුව රුපියල් 400 දක්වාත්, ඒකක 31 සිට 90 දක්වා කාණ්ඩයට රුපියල් 120ක් ස්ථාවර ගාස්තුව රුපියල් 550 දක්වාත්, 180ට වැඩි කාණ්ඩය සඳහා අය කළ රුපියල් 1,500ක ස්ථාවර ගාස්තුව රුපියල් 2,000 දක්වාත් වැඩිවනවා.

කර්මාන්ත අංශය සඳහා පළමු ඒකක 300 කාණ්ඩය යටතේ එක් ඒකකයකට අය කළ රුපියල් 20ක ගාස්තුව වැඩි කර ඇත්තේ රුපියල් 26ක් දක්වා පමණයි. ඒකක 300ට වැඩි සෑම ඒකකයකටම රුපියල් 20ක්ව පැවති ගාස්තුව රුපියල් 26ක් දක්වා ද වැඩි වී තිබෙනවා.

පලමු ඒකක 300 සඳහා අය කළ රුපියල් 960ක ස්ථාවර ගාස්තුව රුපියල් 1200 දක්වාත්, ඒකක 300ට වැඩි සෑම කර්මාන්තයක් සඳහාම අය කළ රුපියල් 1500ක ස්ථාවර ගාස්තුව වැඩි කර ඇත්තේ රුපියල් 1600 දක්වා පමණයි.

පොදු කාර්යන්, හෝටල් සහ රාජ්‍ය ආයතන සඳහා පළමු ඒකක 180ට අඩු කාණ්ඩයට රුපියල් 25ක් පැවති ඒකකයක මිල රුපියල් 40ක් දක්වා වැඩිකර තිබෙනවා. ඒකක 180ට වැඩි කාණ්ඩය සඳහා අය කළ රුපියල් 32ක ඒකක ගාස්තුව රුපියල් 47 දක්වා වැඩි වනු ඇති.

පොදු කාර්යන්, හෝටල් සහ රාජ්‍ය ආයතන සඳහා පළමු ඒකක 180 සඳහා අය කළ රුපියල් 360ක ස්ථාවර ගාස්තුව රුපියල් 1000 දක්වා වැඩිකර තිබෙනවා. ඒකක 180ට වැඩි කාණ්ඩ සඳහා අය කළ රුපියල් 1500ක ස්ථාවර ගාස්තුව රුපියල් 1600 දක්වා වැඩි කිරීමට මීට පෙර විදුලිබල මණ්ඩලය යෝජනා කර තිබුණා.

මහජන උපයෝගිතා කොමිසම විසින් අනුමත කළ විදුලිබල මණ්ඩලයේ ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කිරීමත් සමග, විදුලි පාරිභෝගිකයින්ට අඛණ්ඩ විදුලිය සැපයීමට පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් බලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

එමෙන්ම අඩු ආදායම්ලාභී පවුල් වෙත සහන සැලසීම සහ ආගමික ස්ථාන සහ රජයේ අධ්‍යාපන ආයතන සඳහා සූර්ය පැනල (solar panels) ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාට සහ අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

Scroll to Top