Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

අනුරාධපුර බොදු උරුමයේ අද්විතීය සලකුණක් වන වෙස්සගිරිය ලෙන් විහාර සංකීර්ණය

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ශ්‍රී ලංකාවේ පමණක් නොව මුළුමහත් ලෝකයේම අවධානයට ලක් වූ පෞරාණික නගරයක් ලෙසයි. අනුරාධපුරය සැලකෙන්නේ ඒ තුල සැවොම දන්නා ප්‍රකට ස්ථාන සේම අප්‍රකට පෞරාණික ස්ථාන රැසක්ම පවතී.සංචාරක සිත් පැහැර ගන්නා එවන් තවත් සුවිශේෂී පැරණි ස්ථානයක් ලෙස වෙස්සගිරිය පුදබිම හැඳින්විය හැකියි.
ඉසුරුමුණිය පුදබිම ආසන්නයේ ඇති වෙස්සගිරිය අක්කර 20 ක පමණ භූමි භාගයක පැතිර පවතී.

මෙම ස්ථානයෙන් හමුව ඇති ශිලා ලේඛන අනුව ඉස්සර සමණ,ඉසුරුමුණි බෝ රද් මහා වෙහෙර ආදී නාමයන්ගෙන් හඳුන්වනු ලැබූ ආරාමයක් අතීත අනුරාධපුර සමයේ තිබූ බවට විශ්වාස කෙරෙනවා. මෙහි දැකිය හැකි පළමුවන සියවසේ සිට තුන්වන සියවසට අයත් ලෙන් ලිපි වලට අනුව මෙම ස්ථානය ඉසිරමන විහාරය යනුවෙන් හැඳින්වේ. කෙසේ වෙතත් මහාවංශයට අනුව මෙය හැඳින්වෙන්නේ වෙස්සගිරිය යනුවෙන්. දෙවන පෑතිස් රජ සමයේ ඇරඹී යැයි විශ්වාස කෙරෙන මෙම ස්ථානය කාශ්‍යප රජ සමයේ දී තව දුරටත් පුළුල්කර ඇති යැයි ද සැලකේ.

මිහිදු මහරහතන් වහන්සේගෙන් බණ අසා 500ක් වෛශ්‍ය කුමාරවරු මෙහි සසුන් ගතව ඇතැයි පැවසෙන අතර ඒ නිසාම මෙම ස්ථානයට වෙස්සගිරිය යන නාමය ලැබී ඇතිය යන්න ද විශ්වාසයකි.

භික්ෂූන් භාවනානුයෝගයෙන් වැඩ විසූ ස්ථානයක් වශයෙන් මෙය සැලකීමට අදාල සාධක ඕන තරම් වෙස්සගිරියෙහි පවතී. ලෙන් විහාර සංකීර්ණයක් ලෙස පවතින වෙස්සගිරියෙහි පුරාන ගල් ලෙන් 23ක් පමන දකින්නට ලැබේ. භික්ෂු වාසයට සුදුසු පරිදි ඒවා තනා තිබූ බවට සාධක ඒවායෙහි පවතී.

කාශ්‍යප රජ සමයේ දී මෙම ස්ථානය ප්‍රතිසංස්කරණය කිරීමෙන් හමු වූ ලෙන් ආශ්‍රිතව විවිධ සිතුවම් ද ඇඳ තිබේ. එම කාලයේ දී මෙම ස්ථානය නමකර ඇත්තේ,බෝ උපුල්වන් කසුප් මහ වෙහෙර ලෙසයි. මීට අමතරව පරුමුක නම් ගම්පතියා ඇතුළු පිරිස විසින් ද වරින් වර ලෙන් විහාර කරවා සංඝරත්නයට පූජා කර ඇතැයි ද ඉතිහාසයේ සඳහන්.
මෙහි පැමිණෙන දෙස් විදෙස් ඕනෑම සංචාරකයෙකුට මේ නිසංසල පරිසරයෙහි ආස්වාදය විදිමින් ඉපැරණි බෞද්ධ සිද්ධස්ථානයක සෝබාව අත්විදීමේ අවස්ථාව උදාවේ.

තිසර සමල් – අනුරාධපුර

Scroll to Top