තුර්කියේ සහ සිරියාවේ සිදු වූ භූ කම්පා හේතුවෙන් මිය ගිය ගණන 5,000 ඉක්මවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම වාර්තා පෙන්වා දුන්නේ, දකුණු තුර්කියේ සහ උතුරු සිරියාවේ ජාත්‍යන්තර ආධාර ප්රයත්නයක් මේ වන විට වේගවත්ව සිදුවෙමින් පවතින බව ය.
දෙරටේ ම ගොඩනැගිලි දහස් ගණනක් කඩා වැටී ඇති අතර ඒවායේ සුන්බුන් යට සිර වී සිටින මිනිසුන් බේරා ගැනීමට සහන කණ්ඩායම්වල සාමාජිකයින් යුහුසුළුව කටයුතු කරන බව ද එම වාර්තාවල දැක්වේ.
පළමු භූමිකම්පාවෙන් පසුව තුර්කියේ පමණක් 3,419කට වැඩි පිරිසක් මිය ගොස් ඇති අතර 20,534 දෙනෙකු තුවාල ලැබූ බව එරට ආපදා ඒජන්සිය පවසයි.සිරියාවේ 1600කට වැඩි පිරිසක් මියගොස් ඇතැයි වාර්තා වේ.භූ කම්පා හේතුවෙන් තුර්කියේ ගොඩනැගිලි 6,000ක් කඩා වැටී තිබේ.
අධික සීත කාලගුණික තත්ත්වය මුදා ගැනීමේ මෙහෙයුම්වලට බාධාවක් විය හැකි බවට කනස්සල්ලක් පවතින්නේ යැයි විදෙස් මාධ්‍ය වැඩිදුරට ත් වාර්තා කර ඇත.
තුර්කියේ සිරියානු දේශ සීමාව ආසන්නයේ පිහිටා ඇති ගාසියන්ටෙප් නගරයේ ඊයේ (පෙබ. 6) අලුයම රික්ටර් මාපක 7.8ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් සිදු වූයේ මිනිසුන් නිදා සිටියදී ය.
ඉන් අනතුරුව ඇති වූ පසු කම්පනවලින් පසුව රික්ටර් මාපක 7.5ක ප්‍රබලත්වයෙන් යුත් තවත් භූ කම්පනයක් එරට වේලාවෙන් දහවල් 1.30ට පමණ සිදු විය.
නිල වශයෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව යළිත් ඉහළ යාමත් සමග තුර්කියේ ගිනිකොන දිග ප්‍රදේශයේ මාස තුනක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට එරට ජනාධිපතිවරයා කටයුතු කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් මිලියන 13ක් පීඩාවට පත් වී ඇති බව ත් 5,000කට අධික සංඛ්‍යාවක් මේ වන විට මිය ගොස් ඇති බව ත් ය.
දකුණු දිග තුර්කියට සහ සිරියාවට බලපා ඇති අධික හිම පතනයත් සමග වන ශිත දේශගුණය ගලවා ගැනීමේ මෙහෙයුම් වලට දැඩි බාධාවක් වී ඇති අතරම සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයින්ගේ සෞඛ්‍ය තත්ත්වයට ද එය දැඩි සේ බලපෑම් එල්ල කරනු ලබන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.
තුර්කියේ භූ කම්පනය හේතුවෙන් විපතට පත්වී සිටින තුර්කි වැසියන් වෙත සහන සේවා රැගත් ගුවන් යානයක් ඉන්දියාවේ සිට තුර්කිය බලා පිටත්වී ගොස් තිබේ.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ උපදෙස් අනුව සහන ද්‍රව්‍ය, මුදාගැනීමේ උපකරණ සහ වෛද්‍ය සැපයුම් රැගත් ගුවන් යානයක් එලෙස පිටත්වී ගොස් ඇත.
ඉන්දීය ජාතික ආපදා ප්‍රතිචාර බළකායේ විශේෂ කණ්ඩායමක් ද අදාළ ගුවන් යානයෙන් තුර්කිය වෙත පිටත්ව ගොස් තිබේ.
එමෙන්ම සහන මෙහෙයුම් සඳහාම පුහුණු කරන ලද සුනඛයින් ද තුර්කියේ සහන මෙහෙයුම් සඳහා එක්කිරීමට අදාළ ගුවන් යානයෙන් පිටත් කර හැර ඇති බවද ඉන්දීය මාධ්‍ය පවසයි.
දකුණු දිග තුර්කියට සහ සිරියාවට බලපෑ ප්‍රබල භූකම්පන හේතුවෙන් ළමුන් දහස් ගණනකගේ ජිවිත අහිමි වීමේ අවදානමක් ඇති බව යුනුසෙෆ් සංවිධානය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන්නේ භුමිකම්පාවන් හේතුවෙන් මියගිය සංඛ්‍යාව 20,000 ඉක්මවනු ඇති බවයි.
එමෙන්ම ළමුන් මිලියන 1.4ක් ද ඇතුළුව මිලියන 23 කට අධික ජනතාවක් මේ හේතුවෙන් බලපෑමකට ලක්විය හැකි බවයි එම සංවිධානය නිකුත් කළ වාර්තා වේ වැඩිදුරටත් සඳහන් වන්නේ.
ප්‍රබල භූ කම්පන සමග තුර්කියේ කඩා වැටුණු ගොඩනැගිලි ආශ්‍රිතව මේ වනවිට ක්‍රියාත්මක මුදාගැනීමේ මෙහෙයුම් සඳහා සහාය දීමට ශ්‍රී ලංකාව තීරණය කර තිබේ.
ජනාධිපතිවරයාගේ උපදෙස් මත එම තීරණය ගෙන ඇති අතර විදේශ කටයුතු අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා විසින් මේ පිළිබඳව එරට විදේශ කටයුතු අමාත්‍යවරයා වෙත දැනුම්දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි