Aboutceylon Online

ශිෂ්‍යත්වය ලියූ දරුවන්ගේ මව්පියන්ට විශේෂ පණිවුඩයක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල මත පදනම්ව දරුවන් විවිධ පීඩාවන්ට ලක් නොකිරීමට දෙමව්පියන් හෝ භාරකාර පාර්ශව වගබලාගත යුතු බව විශේෂඥ මනෝවෛද්‍ය රූමි රූබන් මහතා පවසයි.

වෛද්‍යවරයා පෙන්වාදෙන්නේ රටේ පවතින පීඩාකාරී තත්ත්වය තුළ විභාගයක ප්‍රතිඵල මත පදනම්ව දරුවන්ට මානසික පීඩා ඇති කිරිම අනාගතයේදී අහිතකර ප්‍රතිඵල ඇතිකරන්නක් බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ මනෝවෛද්‍ය රූමි රූබන් මහතා,

“ශිෂ්‍යත්ව විභාගය සමාජීය වශයෙන් වැදගත් විභාගයක් තමයි, නමුත් එහි ප්‍රතිඵල මත පදනම් වෙලා දරුවෝ වර්ගීකරණය කරන්න යන්න එපා. හොඳ දරුවෝ නරක දරුවෝ දක්ෂ දරුවෝ අදක්ෂ දරුවෝ කියලා දරුවෝ ගැන හිතන්න එපා. මේ ශිෂ්‍යත්ව විභාගය කියන්නේ ළමා කාලයේදී දරන්න බැරි තරම් පීඩනයක් ගෙනත් දීපු විභාගයක්. මේ කාලයේදී තියෙන දක්ෂතා අනාගතයට ඒ විදියටම යන්නේ නෑ. තවදුරටත් ඒ දරුවන්ගේ සිත් තලන්න එපා. විශේෂයෙන් ම අල්ලපු ගෙදර ළමයාගේ ප්‍රතිඵල, පන්තියේ වැඩිම ළමයාගේ ප්‍රතිඵල. නෑදෑ ළමයින්ගේ ප්‍රතිඵල එක්ක සංසන්දනය කරලා දරුවන්ගේ ධෛර්ය අධෛර්යමත් කරන්න එපා. දරුවෝ ශිෂ්‍යත්ව විභාගයට මුහුණදීලා ඒ මහන්සි වුණු මහන්සිය අගය කරන්න. වඩා වැදගත් වන්නේ අධ්‍යාපනය වෙනුවෙන් ඒ දරුවෝ මහන්සි වුණ එක. දරුවෝ මොන ප්‍රතිඵල ලබාගත්තත් ඒ ප්‍රතිඵල අගය කරලා අඩු ලුහුඬුකම් හඳුනාගෙන ඒ අඩු ලුහුඬුකම් අඩුකරගන්න අනාගතයේදී වඩාත් හොඳින් අධ්‍යයනය කරන්න ඒ අය දිරිගන්වන්න. විශේෂයෙන්ම ශිෂ්‍යත්ව විභාගය නිසා පසුගිය කාලයේදී ගොඩක් දේවල් අතපසු වෙන්න ඇති. සෙල්ලම් කරන්න විනෝද වෙන්න දෙමව්පියන් එක්ක සතුටු වෙන්න කාලය වැයකරන්න බැරිවෙන්න ඇති. ඒක නිසා අන්න ඒ දේවල්වලට දැන් ළමා මනස යොමුකරන්න. පෞර්ෂ්‍යත්ව වර්ධනයට සමාජ කුසලතා වර්ධනයට ඒ දේවල් ඉතාමත් වැදගත්. ඒක නිසා මේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල ආපු වෙලාවේදී. මව්පියන්ගේ වගේම ගුරුවරුන්ගේත් වගකීමක් තමයි හොඳ ප්‍රතිඵල ගත්ත දරුවෝ වගේම අර ප්‍රතිඵල අඩුවෙන් ගත්ත අයගේ සිත් තැලෙන්නේ නැතිවෙන්න, ඔවුන්ගේ ආත්ම ශක්තිය දුර්වල වෙන්නේ නැතිවෙන්න ඒ අයත් අගය කරන එක.”

Scroll to Top