පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් බිත්තර උපරිම සිල්ලර මිල ප්‍රකාශයට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව සුදු බිත්තරයක් උපරිම සිල්ලර මිල රුපියල් 44ක් හා රතු බිත්තරයක් උපරිම සිල්ලර මිල රුපියල් 46ක් වී තිබෙනවා.
ඉන්දියාවෙන් බිත්තර ගෙන්වීමේදී ඉන්දියාවේ කිකිළියන්ට වැලදෙන වෛරස් රෝග මෙරටට පැමිණියහොත් මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ බිත්තර ගොවිපොළවල් අනතුරකට ලක්විය හැකි බව සමස්ත ලංකා කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ සංගමය සඳහන් කරයි.
මවු සතුන්ගේ මිල ඉහළ යාම හා කුකුළු කෑම මිල අධික ලෙස ඉහළ යාම නිසා කුඩා හා මධ්‍ය පරිමාණ ගොවිපොළවල් 17,000කට වැඩි ප්‍රමාණයක් වැසී ගොස් ස්තිබෙන බවත්, බිත්තර හිගයට දීර්ඝකාලීන විසදුම් ලෙස ගොවිපොළ හිමියන්ට අවශ්‍ය මවු සතුන් හා ආහාර සාධාරණ මිලකට ලබාදීමට කටයුතු කළහොත් දේශීය වශයෙන් නිෂ්පාදනය වන බිත්තරයක් ඉදිරියේදී රුපියල් 25ත් 30ත් අතර මිලකට මිලදී ගැනීමට අවස්ථාව හිමිවන බවද සභාපතිවරයා පැවසීය.
එසේ නොමැතිව ඉන්දියාවෙන් බිත්තර ගෙන්වීමට කටයුතු කළහොත් ඉන්දියාවේ කිකිළියන් අතර පැතිරයන වෛරස් රෝග මෙරටට පැමිණිය හැකි බවත්, එවන් තත්ත්වයක් ඇති වුවහොත් මෙරට බිත්තර කර්මාන්තය සම්පූර්ණයෙන්ම අඩපණ විය හැකි බවත් ඒ මහතා සඳහන් කළේය.