නුවරඑළිය – නානුඔය ප්‍රදේශයේදී අද (20) පස්වරුවේ මාරක රිය අනතුරක් සිදුවී තිබේ.
ඒ, විනෝද චාරිකාවක් සඳහා පාසල් ළමුන් පිරිසක් රැගත් බස් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙනි.
අනතුරින් වෑන් රථයේ ගමන් ගත් හය දෙනකු සහ ත්‍රිරොද රථයේ ගමන්ගත් එක් අයකු මියගොස් ඇත.
මියගිය පිරිස අතර කාන්තාවන් තිදෙනකු ද සිටින බව පොලිසිය සඳහන් කරයි.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයෙන් සිසුන් 44 දෙනකු ගමන් කර ඇති අතර ඉන් සිසුන් 41 දෙනකුට තුවාල සිදුව ඇති අතර ළමයින් 3 දෙනකුට කිසිදු අනතුරක් නොමැතිව බේරි ඇතැයි ද අප වාර්තා කරුවෝ පවසති. තුවාල ලැබූ සිසුන්ගේ තත්ත්වය බරපතල නැතැයිද රෝහල් ආරංචි මාර්ග කියයි.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ, කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ අධ්‍යාපන චාරිකාවකට එක් වූ සිසුන් රැගත් බස් රියක් සහ දික් ඔය දෙස සිට නානුඔය දෙසට ධාවනය වෙමින් තිබූ පවුලේ චාරිකාවකට එක් ව සිටි පිරිසක් රැගත් වෑන් රියක් බවයි වාර්තා වන්නේ.
නුවරඑළිය – නානුඔය මාර්ගයේ බස් රථයකට ගමන් කිරීමට ඉතා අපහසු රදැල්ල බෑවුම් පෙදෙසින් දික් ඔය දෙසට අදාළ බස් රථය වේගයෙන් පැමිණීමත් සමග, බෑවුම් ප්‍රදේශයේ දී බස් රථයෙහි තිරිංග යෙදීමට රියදුරු උත්සාහ කළ ද, තිරිංග එහි අක්‍රීය වී ඇති බවයි දැනට ලැබෙන ආරංචි මාර්ගවලින් අනාවරණය වී ඇත්තේ.
බස් රථයෙහි තිරිංග තද නොවීම මත, පහළ බෑවුම දෙසින් ආ වෑන් රියෙහි ගැටී, බස් රිය විසි වී ගොස්, වෑන් රියට පසුපසින් ආ ත්‍රිරෝද රථයක ද ගැටී මාර්ගයේ එක් පසෙක ඇති ප්‍රපාතයට පෙරළී ගොස් තිබෙනවා.
පාසල් සිසුන් පිරිසක් වාර්ෂික අධ්‍යාපන චාරිකාවකට ගොස් එන අතරතුරදි මෙම අනතුර සිදුව ඇතැයි ද බසයේ 50 දෙනකු පමණ ගමන් කර ඇති බවට දැනට තොරතුරු ලැබී අනුව දැන ගන්නට ඇත.
මේ වන විට තුවාල කරුවන් නුවරඑළිය රෝහලට රැගෙන එන අතර ඔවුනට අවශ්‍ය ප්‍රතිකාර කඩිනමින් කිරීමට අවශ්‍ය කටයුතු යොදා ඇතැයි නුවරඑළිය රෝහලේ අධ්යක්ෂ මහේන්ද්‍ර සෙනවිරත්න මහතා පවසයි.