මෙරට දුෂ්කර ප්‍රදේශවල අඩු ආදායම්ලාභී පවුල්වල ජීවන තත්ත්වය නංවාලීම හා අප රටෙන් අභාවයට යමින් තිබෙන ගම් කුකුළු පාලනය ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා හදබිම අධිකාරිය විසින් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇත.
ගම් කුකුළු බිත්තර සහ මස් සඳහා රට තුළ ඉහළ ඉල්ලුමක් පවතින හෙයින් ගම් කුකුළු පාලනය යළි ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ශ්‍රී ලංකා හදබිම අධිකාරියට උපදෙස් දී තිබිණි.
ඒ අනුව 2022 වසරේ අවසාන මාස 06 තුළ ගම් කුකුළු පැටවුන් 18,000ක් අඩු ආදායම්ලාභී පවුල් අතර බෙදා දී ඇතැයි එම අධිකාරියේ සභාපති සරත් විතාන මහතා පැවසීය. පවුල් 1800ක් අතර, මෙම කුකුළු පැටවුන් 18,000 බෙදා දී තිබේ. එමෙන්ම මාස 06 සම්පූර්ණ කරන ලද කිකිළියන් 9500ක් බෙදා දී ඇති අතර, නිෂ්පාදනය කරන ලද සම්පූර්ණ බිත්තර ප්‍රමාණය 142,500කි. එමෙන්ම 2023 වර්ෂයේදී මසකට කුකුළු පැටවුන් 2000 බැගින් කුකුළු පැටව් 24,000ක් බෙදා හැරීමත්, බිත්තර 480,000ක් නිපදවීමට අපේක්ෂා කරන බවත් සභාපතිවරයා සඳහන් කළේය.
අග්‍රාමාත්‍යතුමන් විසින් හදබිම අධිකාරිය සඳහා ලබා දීමට අපේක්ෂිත බිත්තර රක්වන ( Egg Hatchery ) සහ අනෙකුත් යටිතල පහසුකම් ලැබුණු පසු මසකට කුකුළු පැටවුන් 10,000 බැගින් නිපදවීමටත්, බිත්තර මිලියන 08ක් දක්වා නිෂ්පාදනය වැඩි කිරීමටත් හැකි වනු ඇතැයි ද සභාපතිවරයා පැවසීය.
ශ්‍රී ලංකා හදබිම අධිකාරිය විසින් 2023 වර්ෂය සඳහා ක්‍රියාත්මක කිරීමට යෝජිත වැඩසටහන් පිළිබඳ සමාලෝචනය කිරීමට සහභාගී වෙමින් මෙම තොරතුරු අනාවරණය කළේය.