විදේශ රැකියා වලට යාමට ඒජන්සි ආයතන වලට මුදල් සහ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර 1989 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැය 24 තොරතුරු මධ්‍යස්ථානය අමතා අදාළ ඒජන්සි ආයතනයේ නීත්‍යානුකුල භාවය තහවුරුකරගන්නා ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ www.slbfe.lk යන වෙබ් අඩවියට පිවිස ද අදාළ තොරුතුරු ලබා ගත හැකිය.
ශ්‍රී ලාංකිකයින් රැකියා සඳහා යොමුකිරීම සඳහා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් රැකියා නියෝජිතායතන වෙත ලබාදෙන බලපත්‍රයක් නොමැතිව නීතිවිරෝධී ලෙස පවත්වාගෙන ගිය විදේශ රැකියා ඒජන්සි ආයතනයක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන නිළධාරීන් විසින් පසුගියදා වැටලීම් කරන ලදී.
ඩුබායි රාජ්‍යයේ රැකියාවක් ලබාදීම සඳහා තිරුක්කෝවිල් ප්‍රදේශයේ තරුණයෙකුගෙන් රු.450,000 ලබාගෙන පොරොන්දු වූ පරිදි රැකියාව ලබානොදීම හේතුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට ලැබුණු පැමිණිල්ලක් අනුව මෙම වැටලීම සිදුකර ඇත.
එම ස්ථානය වටලන අවස්ථාවේදී තරුණියන් දෙදෙනෙකු සේවයේ යෙදී සිට ඇත. ඔවුන් දෙදෙනාගෙන් ප්‍රකාශ ලබාගෙන මුදාහැර ඇත. පසුව දෙසැම්බර් 27වැනිදා මෙම රැකියා නියෝජිතායතනයේ හිමිකරු හා කළමනාකරු, විශේෂ විමර්ශන අංශයට පැමිණ භාරවී ඇති අතර, ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන එදින තලංගම පොලිසියේ රඳවා තබා පසුදින මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.
සැකකරුවන් රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහරින ලද අතර, තිරුක්කෝවිල් ප්‍රදේශයේ පදිංචි තරුණයාගෙන් ලබාගත් රු 450,000 ක මුදල වාරික දෙකකින් ඔහුට ආපසු ගෙවන ලෙසට නියෝග කර විදේශ ගමන් තහනමක්ද පනවන ලදී. වැඩිදුර නඩු විභාගය ජනවාරි මස 23වැනිදා පැවැත්වීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. මෙම ආයතනයට එරෙහිව තවදුරටත් පැමිණිලි ලැබෙමින් පවතින අතර දැනටමත් පැමිණිලි අටක් ලැබී ඇත.