Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ඒකල සත්ත්ව ආහාර ගබඩාවකින් හාල් ටොන් 21ක් මතුවෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මිනිස් පරිභෝජනයට ගත හැකි සහල් මෙට්‍රික් ටොන් 21ක්  සත්ත්ව ආහාර පිණිස සැකසීම සඳහා ඒකල ප්‍රදේශයේ ගබඩාවක සඟවා තිබියදී ගම්පහ දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන ඒකකයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අංක 1977 දරන හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇත.

මෙහි ගබඩා භාරකරුගෙන්, කළමනාකරුගෙන් හා ලොරි රියැදුරුගෙන් පාරිභෝගික අධිකාරිය ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගෙන අත්අඩංගුවට ගෙන සැකකරුවන් 2023 ජනවාරි මස 06 වැනි දින වත්තල අධිකරණය හමුවේ පෙනී සිටීමට යටත්ව ඔවුන් ඇප බැඳුම්කර මත මුදා හැර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් ප්‍රධානී රංජිත් වීරවර්ධන මහතා ප්‍රකාශ කරයි.

තවද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විසින් නිකුත් කරන ලද 2022-06-24 දිනැති අංක 2285/18 දරන රජයේ අති විශේෂ ගැසට් පත්‍රයට අනුව සහල් හෝ වී සත්ත්ව ආහාර නිශ්පාදනය සඳහා කෙළින්ම භාවිත කිරීම, තොග රැස්කර තැබීම, ගබඩා කිරීම, ප්‍රවාහනය කිරීම, බෙදා හැරීම හෝ මිලදී ගැනීම නොකළ යුතු බවට සඳහන් කර ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි.

මෙම ගබඩාවේ සඟවා තිබූ සහල් තොගය පොලොන්නරුව ප්‍රදේශයේ සහල් මෝල් කීපයකින් ලොරියකින් රැගෙන ආ බව විමර්ශනවලදී හෙළි වී ඇති බව රංජිත් වීරවර්ධන මහතා සඳහන් කරයි.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති නීතිඥ ශාන්ත නිරිඇල්ල මහතාගේ උපදෙස් පරිදි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් ප්‍රධානී රංජිත් වීරවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන නිලධාරින් වන කෝසල රංගනාත්, සී.අයි.පී. කන්දගේ, චතුර හේරත්, දිල්ශාන් පෙරේරා, සංජීව දයානන්ද, සමීර ලක්මාල් ඇතුළු නිලධාරීන් පිරිසක් වැටලීමට එක්වූහ. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් සහල් ගබඩාවට මුද්‍රා තබා ඇත.

Scroll to Top