කලම්බෝ ස්ටාර්ස් පිල ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට සමත්විය.
ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි සුදුසුකම් ලැබීමේ තරගයේදී ඇන්ජලෝ මැතිව්ස් මෙහෙයවන කලම්බෝ ස්ටාර්ස් පිල කඩුලු 6 කින් වනිදු හසරංග මෙහෙයවන කැන්ඩි ෆැල්ක පිල පරාජය කිරීමට සමත් විය.
තරගයේ කාසියේ වාසිය දිනාගත් කළම්බු ස්ටාර්ස් කණ්ඩායම මුලින් පන්දුවට පහරදීමට කැන්ඩි ෆැල්කන්ස් පිලට ආරාධනා කළ අතර, ඕවර 20 අවසානයේ කඩුලු 6කට ලකුණු 168ක් රැස් කර දළ ලකුණු වේගය ඕවරයකට 8.40ක් සහිත ඉලක්කයක් දුනි. ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කළම්බු ස්ටාර්ස් පිල ඕවර 18.5කදී කඩුලු 4කට ලකුණු 169ක් ලබා ජය වාර්තා කළේය.
කළම්බු ස්ටාර්ස් වෙනුවෙන් චරිත් අසලංක හා දිනේෂ් චන්දිමාල් දෙවැනි කඩුල්ලට ලකුණු 90ක සම්බන්ධතාවක් ගොඩනඟා ලකුණු රැස් කිරීමේ වේගය වැඩි කරමින් පන්දුවට පහර දුන් අතර, චන්දිමාල් ලකුණු 38දී හා අසලංක ලකුණු 64දී දැවී ගියද, රවී බොපාරා හා ඇන්ජලෝ මැතිව්ස් ජයග්‍රහණයේ මාවත විවර කළහ.
හසරංගගේ අවසන් ඕවරයේදී හයේ දෙකක් එල්ල කළ මැතිව්ස් පන්දු 13කදී එම හයේ 2 සමග නොදැවී ලකුණු 21ක් රැස් කළ අතර, බොපාරා පන්දු 16කදී හයේ පහරක් හා හතරේ 3ක් සමඟ නොදැවී ලකුණු 29ක් රැස් කළේය.
කැන්ඩි ෆැල්කන්ස් නායක වනිඳු හසරංග සතර අතට පහර දෙමින් පන්දු 34කදී හයේ පහර 3ක් හා හතරේ පහර 8ක් සමඟ නොදැවී ලකුණු 77ක් රැස් කිරීම ප්‍රදර්ශනාත්මක ඉනිමක් විය. තමන් මුහුණ දුන් පන්දු 22කදී අර්ධ ශතකය සම්පූර්ණ කළ අතර, එවිට හයේ පහරක් හා හතරේ පහර 6ක් වනිඳු එල්ල කොට තිබිණි. වනිඳු සමග සිවුවැනි කඩුල්ලට ලකුණු 92ක සම්බන්ධතාවක් ගොඩනැඟූ අශේන් බණ්ඩාර ලකුණු 40ක් ලබා ඉනිම ගොඩනැඟීමට දායක විය. ගාල්ල සාන්ත ඇලෝසියස් විදුහලෙන් ක්‍රිකට් පිටියට අවතීර්ණ වූ 24 හැවිරිදි අශේන් පන්දු 28කදී හයේ පහරක් හා හතරේ 8ක් එල්ල කළේය.
කැන්ඩි ෆැල්කන්ස් ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක හා ඇන්ඩි ෆ්ලෙචර් යන දෙදෙනාම ලකුණු පුවරුව 4ක් වෙද්දී කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කර ගැනීමට කසුන් රාජිත සමත් විය. පන්දු 29කදී හයේ පහරක් හා හතරේ පහරක් සමඟ ලකුණු 23ක් ලබා සිටි කමිඳු මෙන්ඩිස් ස්විප් පහරක් එල්ල කිරීමට ගොස් මොහොමඩ් නබීගේ පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී යද්දී කැන්ඩි ෆැල්කන්ස් ඕවර 8කදී කඩුලු 3කට ලකුණු 42ක් විය. පිටියට පැමිණි විගස පන්දු 5කදී නොදැවී ලකුණු 15ක් ලබා ගැනීමට කාලෝස් බැරත්වයිට් සමත් වූ අතර, පන්දු යැවීමේදී කසුන් රාජිත අභියෝගයක් වෙමින් කඩුලු 4ක් බිඳ හෙළා ගත්තේය.
කලම්බෝ ස්ටාර්ස් පිල සහ ජැෆ්නා කිංග්ස් පිල අතර අවසන් මහා තරගය අද පස්වරු 7.30ට ආරම්භ කිරීමට නියමිතය.