Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ලස්සනට පිපුණු වන මල පරවෙයි – ජීවිතේ හිටියට අයිති නැති බෝඩිමක් ! !!

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මගේ වීරයන් කීප දෙනකු හා යම් පමණකට කිට්ටුවෙන් ඇසුරු කිරීමේ භාග්‍යය, පත්තරකාරයකු වීමෙන් ලද්දෙමි. සාමාන්‍යයෙන් මාසයකට හමාරකට වරක් ඒ ගරු කටයුතු මිනිසුනට දුරකථනයෙන් කතා කර, දුක සැප විමසීමට පුරුදුව සිටිමි. ඒ අනුව, වරෙක, නිහාල් අයියාට ඇමතුමක් ගත්තෙමි. ඒ, සුනිල් (පෙරේරා) අයියා සමුගත් දිනවලය.

අපගේ කතාබහ කරකැවුනේ සුනිල් අයියා වටාය. ඒ හදිසි මරණය ගැනය. සුනිල් අයියාගේ සමුගැනීම ගැන කම්පනයක් තිබුණද, මරණය අප සොයා පැමිණීම සම්බන්ධව නිහාල් අයියා තුල තිබුණේ උපේක්ෂාසහගත මුනිවර අදහසකි. ඔහු ඒ ඇමතුම අවසානයේදී මට කීවේ, “මේ ජීවිතේ කියන්නෙ බෝඩිමක් කැටිපෙ. දිගටම ඉන්න පුළුවන් තැනක් නෙමෙයි ජීවිතේ කියන්නෙ. මේකෙ හිටියට මේක අපට අයිති නෑ. ෆීස් ගෙවල ඉවරවුණාම අපි කාටත් යන්න වෙනව” කියාය.

ඇමතුම අවසන් වූ පසුවත්, ඒ අන්තිමට කී දෙය මසිත දෝංකාර දුන්නේය. එයින් යමක් ලියන්නට පුළුවන් නේදැයි සිතී, හිතට ආ දෙය කප කපා කොට කොටා කුරුටු ගෑවෙමි. ලියා අවසන මට සිතුනේ මෙය නිහාල් අයියා ලවා ගායනා කළ හැකිනම් අගෙයි කියාය. එසේ සිතා මම එය ඔහුට යැව්වෙමි. මෙවැනි ආධුනික පදරචනා දහස් ගණනක් ඔහු සතුව ඇති. එසේ වුව, “මේකෙ පොඩි ගතියක් තියෙනව. ඉස්සරහ වැඩකදී පාවිච්චි කරමු”යි නිහතමානීව ඔහු කීවේය.

මේ මෑතකදී ද මම ඔහුට එය යළි යැවීමි. ඒ නුදුරු දිනෙක මුණගැසී ඒ ගැන කතාකරන අපේක්ෂාවෙනි. කෙසේ වෙතත්, ඒ සියල්ලම පසෙක තබා ඔහු බෝඩිමෙන් පිටව ගොසිනි. අප තවම බෝඩිමේ සිටිමු. ඒ අපේ ෆීස් ගෙවා අවසන් වන තුරුය.

මේ ඔහු කී දේ අකුරු වූ විලාසයයි. තවමත් බෝඩිමේ ඉතිරිව ඉන්නා අය සමග එය බෙදාගන්නේ, නිහාල් නෙල්සන් පුරාවෘත්තයට ශීර්ෂ ප්‍රණාමය පළ කරමිනි ❗

*******************************

🔵සයිස් එකෙන් වැඩ දාගෙන ගෙව්වට ලොකු ප්‍රයිස්
අයිස් වගේ දියවෙනවා දවසක ලොකු සයිස්
ටයිම් එකට කොයි කවුරුත් දාල යනව ලයිෆ්
මල්ලි – මනුස්සකම ඉතුරු කළොත් අන්න ඒක නයිස්

(ජීවිතේ බෝඩිමක්
හිටියට අයිති නැති තැනක්
ෆීස් – ගෙවල ඉවර වෙන දාකට ක්ලෝස් වෙන තැනක් //

රිදවන්නට හිතන්නෙපා තව කෙනෙක්ගෙ හිත
විඳවන්නේ මොකටද මේ ඉරිසියාව මත
වදවෙන්නට එපා හොයල ජාතිය කුල ගොත
දවසක – පිටවෙන්නට වෙනව අපට මෙතනින් හිතවත

(ජීවිතේ බෝඩිමක්
හිටියට අයිති නැති තැනක්
ෆීස් – ගෙවල ඉවර වෙන දාකට ක්ලෝස් වෙන තැනක් //

බලේ ධනේ රැස් කරගන්නට කෙරුවත් ෆයිට්
මොළේ වෙහෙසලා බැලුවම ඒ ඔක්කොම බයිට්
කොලේ වහල ගහන්න බෑ ලයිෆ් එකට රයිට්
මල්ලි – නිලේ තලේ අදාළ නෑ කාටත් ගුඩ් නයිට්

(ජීවිතේ බෝඩිමක් හිටියට අයිති නැති තැනක්)

ෆීස් – ගෙවල ඉවර වෙන දාකට ක්ලෝස් වෙන තැනක් //
පූස් – පැටව් වගේ මාරුවෙලා යන්න වෙන තැනක්
ටෝක් – ඉෂූ කළොත් කවදාහරි ජෝක් වෙන තැනක්
ෂාප් – එකේ ඉඳල ෂේප් එකේ ගියොත් හොඳ තැනක්
බ්‍රේක් – වෙන බව දැන පීක් එකට යන්න මරු තැනක්

– විමල් කැටිපෙආරච්චි  (උපුටා ගැනීමකී)


ශ්‍රී ලාංකීය වේග රිද්ම ගීතයේ රජු..!

නිහාල් නෙල්සන් වාර්තා අතරට එක්ව සිටියේ වැඩිම කැසට් පට සංඛ්‍යාවක් එළිදැක්වූ ගායන ශිල්පියා ලෙසය.

ඔහු එළිදක්වා ඇති කැසට් පට ගණන 113 කි.

මෙරට ප්‍රසංග වේදිකාවට නැතිවම චරිතයක් වු නිහාල් නෙල්සන් සමාජයේ කතා බහට ලක්වු මෙන්ම අඳුරු පැතිකඩ විදහා දක්වන තේමාවන් මුල් කරගනිමින් ගීත ගායනා කිරීම හේතුවෙන් වඩාත් ජනාදරයට පාත්‍රවිය.

1978 දී ‘ගුණේ අයියගේ කාමරේ’ සමඟින් ඔහු පළමු කැසට් පටය එළි දක්වනු ලැබීය.

එවකට කැසට් පටයක් නිකුත් කළ ශ්‍රී ලාංකේය ගායන ශිල්පීන් අතර ඔහු දෙවැනි ස්ථානයේ පසු විය. සංයුක්ත ගී තැටියක් නිකුත් කළ පළමු ගායන ශිල්පීන් අතරට නිහාල් නෙල්සන් ද එක්විය.

තමාටම අනන්‍ය වූ ශෛලියකින් ප්‍රසංග වේදිකාවට ප්‍රවිශ්ට වූ ඔහු, ප්‍රසංග වේදිකාවේ අපරාජිත තරුවක් ලෙස සැලකෙයි.

දශක 6කට අධික කාලයක් ප්‍රසංග වේදිකාව තුළ වැජබී සිටිමට ඔහුට හැකි විය.

1946 ජනවාරි 9 වැනිදා මොරටුවේ උපන් නිහාල් නෙල්සන් පාසල් වියේ සිටම ගායනයට දක්ෂතා ප්‍රදර්ශනය කළේය. මොරටුව මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වූ ඔහු 1963 වසරේදී ලස්සනට පිපුණු වන මල් ගීතය තුළින් ගායන ලෝකයට ප්‍රවිශ්ට විය.

1963 මාර්තු 31 වන දින දහවල් 12.20ට එවකට ගුවන් විදුලියෙන් ‘ලස්සනට පිපුණු වනමල්’ ගීය මුල්වරට ප්‍රචාරය කරමින් එවකට කරුණාරත්න අබේසේකර විසින් මුල්වරට නිහාල් නෙල්සන්ව හඳුන්වාදුන් අවස්ථාවේදී “ඔබට මම අද ගෙනාව මල් වෙඩිල්ලක්. මල් ලස්සනට පුපුරලා මල් විහිදුවා බලන අයට චමත්කාරයක් පෙන්නලා බිමට වීසිවෙලා යනවා. මම අද ගෙනාව මල් වෙඩිල්ල කවදාවත් බිමට වැටෙන්නේ නැහැ” යනුවෙන් පැවසු බව කියවේ.

ඔහු ගායනා කළ “සල්ලි මිටි ගණන්, කිරි දුන්නේ දරුවන්ටයි” වැනි ගීත සමාජයට දැඩි බලපැමක් එල්ල කළ හැකි ගීත බවට පත්විය. ගායන ශිල්පියෙකු, සංගීත අධ්‍යක්ෂවරයෙකු මෙන්ම ගී පද රචකයෙකු ලෙස ඔහු මෙරට සංගීත කේෂත්‍රයට අතිවිශාල මෙහෙවරක් ඉටු කරනු ලැබීය.

නෙල්සන් බොහෝ චිත්‍රපටවල පසුබිම් ගායකයෙකු ලෙසද කටයුතු කළේය. ඔහුගේ ප්‍රථම පසුබිම් ගායනය පෙම් කුරුල්ලෝ චිත්‍රපටිය තුළින් වාර්තා අතරට එක්විය.

සක්විති සුවය, ලෝක හොරු,හරි යනකොට ඔහොම තමයි, සඳ වට රන්තරු, ලොකු තාත්තා, මල් වරුසා, වාලම්පුරි, දියමන්ති යන චිත්‍රපටවලට ද ඔහු පසුබිම් ගායනයෙන් දායක විය.

කෙතරම් නව ගීත එළි දැක්වුවත්, නිහාල් නෙල්සන් ගායනා කළ ගීත අදටත් ප්‍රසංග වේදිකාවක, සාදයක, විනෝද චාරිකාවකදී නිතැතින්ම මතකයට නැගෙන්නේ එම ගීත එතරම්ම මෙරට සංගීත ලෝලීන්ගේ සිත්තුළ කාවැදී පැවතීම හේතුවෙනි.

නිහාල් නෙල්සන් ජීවන වේදිකාවට සමුදෙනු ලැබුවද ඔහු ගායනා කළ ගීත ප්‍රසංග වේදිකාව තුළ සදා අමරණීය වනු ඇත.

බීබීසී

Scroll to Top