Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

අඳුර මැදින් එන අලුත්ම අර්බුදය – හැකිතාක් නිවෙස්වල රැඳී සිටින්න

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

රටපුරා වායුගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය සෞඛ්‍යයට අහිතකර ලෙස ඉහළ ගොස් ඇතැයි මධ්‍යම පරිසර අධිකාරිය සහ ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ සංවිධානය වායු නිරීක්ෂණ මාන දත්ත අනුව අනාවරණය කරනු ලබයි.

මෙම තත්ත්වය තවත් දින හතරක් පමණ පවතින බව මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර දූෂණ පාලන ඒකකයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සංජය රත්නායක පැවසීය. වැසි තත්ත්වය සමග මෙම තත්ත්වය පහව යනු ඇතැයි බලාපොරොත්තු වන බවද ඔහු කීවේය.

වායු ගෝලයේ දූවිලි අංශු ඉහළ යෑමේ බලපෑම මත කොළඹ නගරය ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසක් ඊයේ (08 වැනිදා) අඳුරු ස්වභාවයක් ඉසිලීය.

දිල්ලි නුවර අයහපත් වායු දූෂණයේ බලපෑම, බෙංගාල බොක්කේ අඩුපීඩන තත්ත්වයත් සමග, ශ්‍රී ලංකාව මේ වනවිට අතිශය අයහපත් මට්ටමේ වායු දූෂණයකට ලක්වී තිබේ.

දිස්ත්‍රික්ක 16ක් වායු දූෂණයට ලක්වී ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය නිකුත් කළ වාර්තාවේ සඳහන් වෙයි.

විෂ වායු ආඝ්‍රාණයවීම නිසා ඇතැම් විට මරණ පවා සිදුවිය හැකි බැවින් හැකිතාක් දුරට නිවෙස් තුළ රැඳීසිටින ලෙසත් නිවසෙන් බැහැරව යන්නේ නම් මුඛ ආවරණ අනිවාර්යෙන්ම පළඳින ලෙසත් විශේෂඥ වෛද්‍යවරු  ඉල්ලා සිටී.

බෙංගාල බොක්කේ පවතින අඩුපීඩන තත්ත්වයත් සමග දිල්ලි නුවර අවට පිහිටි අයහපත් වායු ධාරාවල බලපෑම මේ වනවිට ශ්‍රී ලංකාවට දරුණු ලෙස එල්ලවී තිබේ.

මිනිස් සිරුරට අහිතකර කාබන් ඩයොක්සයිඩ්, නයිට්‍රජන් ඩයොක්සයිඩ් සහ සල්ෆර් ඩයොක්සයිඩ් වැනි වායුන් අන්තර්ගතවී ඇති බව විශේෂඥයින් පෙන්වාදෙයි.

දිල්ලි අගනුවර වායු ගෝලයේ වායු ඝන මීටරයක් තුළ අහිතකර සියුම් අංශු 400ක් පමණ හඳුනාගෙන ඇති අතර, එය සාමාන්‍යයෙන් පැවතිය යුතු වන්නේ අහිතකර වායු අංශු 50ක අඩු මට්ටමකය.

ඒ අනුව දිල්ලි අගනුවර සිට කිලෝමීටර් 1,500ක් පමණ දුරින් පිහිටි කොළඹ නගරයේ ද දක්නට ලැබුණේ දිල්ලි හා සමාන තත්ත්වයකි.

යම් ප්‍රදේශයක වායු ගුණ තත්ත්ව දර්ශකයේ 0 සිට 50 දක්වා දැක්වෙනවා නම් එය යහපත් වායු තත්ත්වයක් ලෙසත් ඉන් ඉහළ අගයන් පෙන්නුම් කරන්නේ නම් එය දූෂිත වූ වායු තත්ත්වයක් ලෙසත් සැලකෙයි.

යම් හෙයකින් එය වායු ගුණ තත්ත්ව දර්ශකයේ 151 ඉක්මවන්නේ නම් එය ප්‍රබල අයහපත් වායූ දූෂණ තත්ත්වයක් ලෙස සැලකේ.

මෙරට වැඩි වශයෙන්ම වායු දූෂණයට ලක්වී තිබුණේ කොළඹ නගරයයි.

එහි වායු ගුණ තත්ත්ව දර්ශකයේ අගය 246ක් ලෙස සටහන්ව තිබු අතර දෙවනුවට වායු ගුණ තත්ත්ව දර්ශකයේ අගය 237ක් ලෙස මුලතිව් දිස්ත්‍රික්කයෙන් වාර්තාවුණි.

වව්නියාව දිස්ත්‍රික්කයේ අගය 229ක් වන විට යාපනය දිස්ත්‍රක්කයේ 226ක් සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ 214ක් ලෙස සටහන්වුණි.

වායු ගුණ තත්ත්ව දර්ශකයට අනුව කළුතර දිස්ත්‍රික්කයේ 186ක් ලෙසත්, රත්නපුර 166ක්, කෑගල්ල 163ක්, පොළොන්නරුව 160ක්, බදුල්ල 154ක් සහ මහනුවර 151 ලෙස සටහන්වී තිබුණි.

IQ Air වෙබ් අඩවිය ඊයේ පස්වරු 1 ට සඳහන් කර ඇත්තේ මෙරට වායු ගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය pm 2.5 අගය අනුව ගම්පහ නගරයේ 180 ක් දක්වාද, කොළඹ නගරයේ 167 ක් දක්වාද, යාපනය නගරයේ 166 ක් දක්වාද, අම්බලන්තොට හා මහනුවර 152 ක් දක්වාද, රත්නපුර 141 ක් දක්වාද, දඹුල්ල 129 ක් දක්වාද ඉහළ ගොස් ඇති බවය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය තිලක් සිරිවර්ධන මහතා,

“මේ මොහොතේ තිබෙන වායු තත්ත්ව දර්ශකය අනුව මිනිස්සුන්ට හුස්ම ගන්න සුදුසු තත්ත්වයක් නෙමෙයි තිබෙන්නේ. ඒ නිසා මේ වෙලාවේ ප්‍රවේසම් වෙන්න ඕනේ. හෘදයාබාධ, අංශභාග, ශ්වසන රෝගවලට ගොදුරු වෙන්න පුළුවන්. ගැබිනි කාන්තාවන්, ළඳරුවන් සහ වැඩිහිටියන්ට දැඩි බලපෑම් ඇතිවෙන්න පුළුවන්. පුළුවන් තරම් ගෙදරම ඉන්න පුළුවන් නම් හොඳයි. ඇදුම රෝගීන්ට මේ තත්ත්වය ඉතාමත්ම ප්‍රබල ලෙස බලපානවා. මෙවැනි තත්ත්වයකදී මරණයට පවා ලක්විය හැකියි.”

කොළඹ මහනගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි මහතා,

“මෙම තත්ත්වය නිසා මම ඉල්ලා සිටිනවා කොළඹ නගරයේ පාසල්වල දරුවන් පුළුවන් තරම් ක්‍රීඩා පිට්ටනිවල කරන ක්‍රියාකාරකම් අවම කරන්න කියලා. පන්ති කාමරයේම රැඳීසිටින්න.”

වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පෙන්වා දෙන්නේ අවදානම් කණ්ඩායම් හැකිතාක් නිවෙස්වලට වී පසුවන්නේ නම් ආරක්ෂාකාරී බවය.

“මේ අවස්ථාවේ වාතයේ ගුණාත්මක තත්ත්වය තාවකාලිකව නරක අතට හැරිලා තිබෙනවා. මේ තත්ත්වය ඇතිවෙලා තිබෙන්නේ ඉන්දියාවේ සිට පැමිණෙන සුළඟ නිසා. මේ අවස්ථාවේ වාතයේ ගුණාත්මක තත්ත්වය තාවකාලිකව නරක අතට හැරිලා තිබෙනවා. මේ තත්ත්වය ඇතිවෙලා තිබෙන්නේ ඉන්දියාවේ සිට පැමිණෙන සුළඟ නිසා.”

“දැනට වාර්තාවෙලා තියෙන ආකාරයට ප්‍රධාන නරගවල මෙම නරක වායු තත්ත්වය වාර්තා වෙනවා. කොළඹ, යාපනය, රත්නපුරය, පුත්තලම, මහනුවර, වව්නියාව ආදී නගරවල.

“මේ පරිසර තත්ත්වය ශ්‍රී ලංකාවට පාලනය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.”

“මේ අවස්ථාවේ වයස්ගත උදවිය, කුඩා දරුවන්, හෘද රෝගීන්, පෙනහලු රෝගීන් නිවෙස්වලින් පිටතට යෑම පුළුවන් තරම් සීමා කරනවා නම් හොඳයි.” යැයි අනිල් ජාසිංහ මහතා කියා සිටියි.

Scroll to Top