අනුරාධපුර මහවැලි එච් කළාපයට අයත් පාසල් 29 ක සිසු සිසුවියන් 4200 ක් සඳහා දෛනිකව ආහාර වේලක් ලබා දීමේ වැඩසටහනක් එළැඹෙන නොවැම්බර් මස 01 වැනි දින සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ මහවැලි එච් කළාපයේ නිළධාරීන් හා එම කළාපයේ ගොවි සංවිධාන කටයුතු සංවිධානය කර ඇත.
ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සිය රාජකාරී කටයුතු වලට එහා ගොස් රජයේ මුදල් වැය නොකර, නිළධාරීන්ගේ, ගොවින්ගේ හා ව්‍යාපාරිකයින්ගේ ධන පරිත්‍යාගයන්ගෙන් සමාජ සත්කාර වැඩසටහනක් ලෙස මෙය ක්‍රියාත්මක කරනු ලබයි.වර්ථමානය තුළ මෙරටට බලපා ඇති ආර්ථික අභියෝගය හේතුවෙන් මහවැලි එච් කළාපයේ පාසල් දරුවන්ට සිදු වන බලපෑම අවම කිරීමේ අරමුණින් මහවැලි එච් කළාපයේ නේවාසික ව්‍යාපාර කළමණාකර ඩබ්.එම් සුගත් වීරසිංහ මහතාගේ සංකල්පයන් මත පෝෂණ අවශ්‍යතා නොමැති පාසල් දරුවන් සඳහා නොමිලේ ආහාර ලබා දීමේ වැඩසටහනට සමඟාමීව පාසැල් ඉගෙනුම් උපකරණ සපයා ගත නොහැකි අඩුආදායම්ලාභී පාසැල් දරුවන් සඳහා පාසල් උපකරණ නොමිලේ ලබා දීම, තෝරාගත් පාසැල් වල ගෙවතු සංවර්ධනය සඳහා පැළ හා බීජ කට්ටල ලබා දීම, තෝරාගත් පාසැල් සඳහා නොමිලේ සංගීත භාණ්ඩ ලබා දීම හා මහවැලි එච් කළාපයේ ක්‍රීඩා දක්ෂතා ඇති දරුවන් සඳහා ක්‍රීඩා සංචිත පිහිටුවීමටද මහවැලි අධිකාරිය කටයුතු සංවිධානය කර ඇත.
එහිදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහවැලි එච් කළාපයේ පවතින පාසල් 84 න් ආර්ථික අපහසුතා ඇති, මුලික පෝෂණ අවශ්‍යතා සපුරා ගත නොහැකි සිසු දරු දැරියන් ඉගෙනුම ලබන පාසල් 29 ක මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන අතර, 6-13 ශ්‍රේණි වල සිසු සිසුවියන් 4200 කට ආසන්න පිරිසක් සඳහා දෛනිකව පාසල් පැවැත්වෙන සියලු දින වලදී මෙම අහාර වේල ලබා දීමට නියමිතය.ඒ සඳහා අවශ්‍යය වියළි ආහාර ද්‍රව්‍යය පාසල් වෙත ලබා දී පාසල් කමිටු හරහා ඒවා පිසීමත්, එම කටයුතු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ සිදු කිරීමට නියමිතය.
පාසල් ඉගෙනුම් උපකරණ සපයා ගත නොහැකි පාසල් දරුවන්ට ඉගෙනුම් උපකරණ ලබා දීම වෙනුවෙන් පාසල් 11 ක් තුළ “පොත් බැංකුවක්” ස්ථාපනය කෙරෙන අතර, ඒ සඳහා පොත්, පෑන්, පැන්සල් ආදී ඉගෙනුම් උපකරණ ලබා දීම සිදු කෙරේ, පළමු අදියර යටතේ පාසල් 11 සඳහා, එක් පාසලකට රුපියල් 25000 ක් පමණ වටිනා උපකරණ බැගින් පරිත්‍යාග කෙරෙන අතර, පාසලේ ඉගෙනුම් උපකරණ මිලදී ගත නොහැකි සිසුන්ට ගුරුභවතුන් දැනුම්වත් කර අවශ්‍යය පාසල් උපකරණ පොත් බැංකුවෙන් ලබා ගත හැකිය.තවද කළාපයේ සියලු පාසල් සඳහා බීජ කට්ටල හා ගෙවතු සංවර්ධන පැළ ලබා දී පාසල් ගෙවත්ත වගා කිරීමට පාසල් දරුවන් යොමු කිරීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කෙරේ, මීට අමතරව තෝරාගත් පාසල් 07 ක් සඳහා රුපියල් 488150 ක මුල්‍ය වටිනාකමකින් යුතු සංගීත භාණ්ඩ පරිත්‍යාග කිරීමටද, කළාපයේ දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික තලයට ගෙන ඒම සඳහා ක්‍රීඩා සංචිත පිහිටුවීමටද, ඒ අනුව දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5 0දෙනෙකු තෝරා ඔවුන්ට පුහුණු වීම් සිදු කිරීමට අවශ්‍යය පහසුකම් සැපයීම, පෝෂදායි ආහාර වේලක්, ක්‍රීඩා ඇඳුම් හා උපකරණ ආදිය සැපයීමටද මහවැලි අධිකාරිය කටයුතු කරනු ලැබයි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහවැලි එච් කළාපයේ නේවාසික ව්‍යාපාර කළමණාකර ඩබ්.එම් සුගත් වීරසිංහ මහතා,
මහවැලි එච් කළාපයේ ගොවි සංවිධාන 225 ක් තියෙනවා, මේ ගොවි සංවිධාන එකතුවෙලා, ගොවි ව්‍යාපාර කමිටුව හැදෙනවා. මේ කමිටුව රැස්වෙලා යෝජනාවක් ගෙන ආවා, පාසල් දරුවන්ට උදේ ආහාරය නොමැති වීම සම්බන්ධයෙන්.මහවැලි එච් කළාපයේ විශාල ආහාර සුලභතාවක් තිබුණත් පාසල් වලින් දරුවෝ උදෑසන ආහාරය නොගෙන, රාත්‍රියට ආහාර නොගෙන පාසල් පැමිණෙන බවට යම් යම් ප්රවණතාවන් තිබෙන බවට වාර්ථා වුණා.
ඒ අනුව අධ්‍යාපන අමාත්‍යංශ නිළධාරීන්, විදුහල්පතිවරුන් සකස් කර, අපි සංඛ්‍යා ලේඛණ සකස් කළා ඒ ඒ පාසල් වල කී දෙනෙකුට ආහාර සම්බන්ධ අවශ්‍යතාවන් තියෙනවාද කියලා, අපේ කළාපයේ පාසල් 84 ක් තියෙනවා. පාසල් කීපයක් ගැටලු නැති බවට සඳහන් කළා.නමුත් පාසල් 29 ක් ආහාර අවශ්‍යතාව තියෙන ළමයින් සිටින බවට වාර්ථා වුණා.ඒ අනුව එම පාසල් වල ළමුන් 4200 කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා ආහාර වේල සැපයිය යුතු.මේක ලොකු වැඩක්, දළ වශයෙන් මාසයකට රුපියල් ලක්ෂ 52 ක් යනවා මේ එක වේලක් ලබා දෙන්න.නමුත් මේ සඳහා රජයේ මුදල් වැය කරන්නේ නෑ,මේ වගකීම භාර ගත්තේ ව්‍යාපාර ගොවි සම්මේලනය හා ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාව.අපි නොවැම්බර් මස 01 වැනිදා සිට මේ ආහාර වේල ලබා දෙනවා.ඒ සඳහා අවශ්‍යය වියළි ආහාර අපි පාසල් වෙත ලබා දෙනවා. 1-5 ශ්‍රේණී සඳහා දැනටමත් ආහාර ලබා දීම රජයෙන් කරන නිසා , අපි 6-13 ශ්‍රේණී දරුවන් සඳහා අපි ආහාර ලබා දෙනවා,සෑම මාසයකටම අවශ්‍යය ආහාර සඳහා වියළි ආහාර මලු අපි සෑම මසකම පළමු දින පාසලට භාර කිරීමට ලබා දෙනවා.අහාර පිසීම පාසල් වල දෙමාපියන් විසින් සිදු කරනවා.පාසල ආහාර වලින් සුරක්ෂිත ස්ථානයක් කරන එක අපේ බලාපොරොත්තුව.කවුරු හරි ගෙදරක වැඩිපුර මඤ්ඤොක්කා ටිකක් ගැලෙව්වොත් ඒක පාසලේ ආහාර දෙන්න කියන සංකල්පය තමයි අපි ඇති කරන්නේ.අපිත් එක්ක ධීවර සමිති 60 ක් විතර ඉන්නවා. ඒ අයට අපි උපදෙස් දීලා තියෙනවා සතියකට එක දවසක් මාලු කිලෝ 05 ක් පාසලට ගිහින් දෙන්න කියලා.ඒ අය ඉතාම කැමැත්තෙන් මේ වැඩසටහනට දායක වෙලා තියෙනවා.
ඊට අමතරව පාසල් උපකරණ ගන්න බැරිව දරුවෝ ඉන්නවා, අපි කළාපයේ පාසල් වල පොත් බැංකුවක් ආරම්භ කරනවා.එහිදී දරුවන්ට තමන්ට අවශ්‍යය පොත් ගුරුවරුන් හරහා ඉල්ලා ගන්න පුලුවන්, අපිට හිතවතුන් විශාල වශයෙන් ආධාර කරනවා.ඒ සඳහා අපි මුදල් ආධාර ලබා ගෙන නෑ, ද්‍රව්‍යය ආධාර පමණයි ලබා ගෙන තියෙන්නේ. ඒ සියලු ආධාර පාසල් වලට බෙදා දීමට සූදානම් කරලා තියෙනවා.ආරම්භයක් ලෙස රුපියල් 25 000 ක පමණ පොත් කට්ටලයක් ලබා දෙනවා.
ඒ වගේම දරුවන්ට සංගීත භාණ්ඩ සම්බන්ධයෙන් ලොකු ප්‍රශ්නයක් තියෙනවා.දරුවන්ට අවශ්‍යය සංගීත උපකරණ පාසල් වෙත ලබා දීමට නියමිතයි.
ඒ වගේම මහවැලි එච් කළාපයේ ක්‍රීඩා කටයුතු සම්බන්ධව ගත්තම, ක්‍රීඩා සංචිතයක් තිබුනේ නෑ, පළාත් ක්‍රීඩා උත්සවය අවසන් වුණාට පස්සේ අපේ ඉලක්කයක් තිබුණේ නෑ ජාතික තලයට ක්‍රීඩකයෙක් අරන් යන්න.මහවැලි එච් කළාපයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 50 කගෙන් යුතු ක්‍රීඩා සංචිතයක් ඇති කරන්න බලාපොරොත්තු වෙනවා.ඒ සඳහා පරීක්ෂණ මේ වන විට සිදු කරනවා, ඔවුන්ගේ පෝෂණ අවශ්‍යතා සම්පූර්ණ කර, ඔවුන්ට ජාතික තලයේ පුහුණුකරුවන් හරහා පුහුණුවීම් ලබා දීමට බලාපොරොත්තු වෙනවා.
මහවැලි එච් කළාපයේ ව්‍යාපාර කමිටුවේ සභාපති, කේ.එච්.එස් කුමාරසිංහ.
මහවැලි එච් කළාපයේ නියමුවා වන නේවාසික ව්‍යාපාර කළමණාකාරතුමාත්, මේ කළාපයේ ගොවි සංවිධානත් එකතු වෙලා මහඟු සත්කාරයක් කිරීම සඳහා මුළ පුරලා තියෙනවා.එච් කළාපයේ පාසල් වල ආහාර හිඟ ළමුන් සඳහා ආහාර වේලක් ලබා දීමේ වැඩසටහනක් ආරම්භ කිරීම සඳහා අපේ ව්‍යාපාර කමිටුව කැමැත්ත පළ කළා, මෙම අවස්ථාවට මහවැලි එච් කළාපයේ සියලු කළාප වල ගොවි සංවිධාන සභාපතිවරුන් සහභාගී වෙනවා.අපේ ගොවි සංවිධාන 225 ක් තියෙනවා.ගොවි පවුල් ගත්තොත් 25500 ක් පමණ සිටිනවා.අපේ දුවා දරුවෝ තමයි මේ පාසල් වලට යන්නේ.මාධ්‍ය මගින් ප්‍රචාරය වුණා පාසල් දරුවෝ ආහාර නැතිව ක්ලාන්තය හැදිලා වැටෙනවා කියලා.අපි ආහාර වලින් පෝෂිත කළාපයක් වුණත්, ආහාර බොහෝ දෙනෙකුට අඩු බවට පෙනී යනවා.ඒ නිසා මහවැලි ව්‍යාපාර කමිටුව තීරණයක් ගත්තා, ආහාර නොමැති බහුතර ළමුන් සිටින පාසල් සොයලා, ඒ පාසල් සඳහා දෛනිකව ආහාර වේලක් ලබා දීමට.අපේ කළාපයේ සියලු විදුහල්පතිවරුන්ගෙන් විමසීම් කරලා, පාසල් තෝරා ගත්තා, අපි පාසල් සඳහා ආහාර ද්‍රව්‍ය ලබා දීම සිදු කරනවා, පාසල් කමිටුවක් හරහා ආහාර පිසීම කරනවා.
සාමාන්‍යයෙන් එක පාසලකට හාල් කිලෝ 4000 ක් පමණ අවශ්‍යය වෙනවා, ඊට අවශ්‍යය පොල් ඇතුළු ද්‍රව්‍යය මහවැලි අධිකාරිය ඇතුළු ගොවි සංවිධාන එකතු වෙලා කරනවා.මේ වන විට 4200 ක ආසන්න ළමුන් ප්‍රමාණයකට අපි ආහාර සැපයීම සිදු කරනවා.ආසන්න වශයෙන් රුපියල් ලක්ෂ 60 කට ආසන්න මුදලක් වැය වෙනවා.ගොවියෝ වශයෙන් අපිට මේ අවස්ථාවේ පසු බහින්න බෑ, මේ පාසල් වල ඉන්නේ අපේ ළමයින්.ඒ ළමයින්ට ආහාර වේලක් දීම අපේ වගකීමක්.ඒ නිසා ගොවියෝ ලෙස අපි ඔක්කොම එකතු වෙලා, මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව පොත් බැංකුව වගේම, පාසල් වලට පැළ වර්ග ලබා දී ඒවා පාසල් ගෙවත්තේ වගා කිරීමේ වැඩසටහනකුත් ක්‍රියාත්මක කරනවා.මේ සියලු වැඩසටහන් නොවැම්බර් මස 01 වැනිදා ආරම්භ කරනවා.මේ වගේ වැඩක් ලංකාවේ කරන්නේ පළමුවැනි වතාවට මහවැලි අධිකාරිය හා ගොවියෝ එකතු වෙලා.මේ වැඩසටහන ඉදිරියට කරගෙන යන්න සියලු දෙනා සහය ලබා දෙයි කියලා අපි හිතනවා. ළමයෙකුට කන්න නැති නිසා පාසල් නොඑන එක වලක්වන්නයි අපිට ඔ්න.අපේ ගෙදර ළමයා බත් කන කොට අල්ලපු ගෙදර ළමයා කෑවද නැද්ද කියලා අපි දන්නේ නෑ, ඒ නිසයි දරුවන්ට කෑම දෙන්න අපි තීරණය කලේ.අපි මේ සඳහා කිසිම දෙයක් රජයෙන් ගන්නේ නෑ, ගොවි සංවිධාන හා මහවැලි අධිකාරියේ නිළධාරීන්ගේ පෞද්ගලික පරිත්‍යාගයන්ගෙන් කරගෙන යන්නේ.මාස 03-04 ක් මේ පවතින අහේනිය දුරුවෙනකල් කරගෙන යන්න අපි බලාපොරොත්තු වෙනවා.
එප්පාවල කොට්ඨාශ අනුකමිටුවේ සභාපති වයි.එච් දිසානායක මහතා,
මහවැලි ජානපදිකයෝ විදිහට, අපි හොඳ ගොවි මහත්වරු, අපිව පෝෂණය කලා මහවැලි අධිකාරිය, අපිට කැත්ත උදැල්ල දීලා අපි ගොවිමහත්වරු බවට පත් කලේ මහවැලි අධිකාරිය.අපේ ගමේ, අපේ දූ දරුවන්ගේ දරුවෝ පාසලට ගිහින් හාමත් වෙලා වැටෙන තත්වයක් තියෙනවා නම්, මිනිස්සු විදිහට අපි මොකක් හරි කළ යුතුයි යුතුකමක් විදිහට, ඒ යුතුකම තමයි මහවැලි අධිකාරියත්, ගොවි සංවිධානත් එකතු වෙලා ලොකු හැගීමකින් මේ කරන්නේ.අපි මේ දැවැන්ත වැඩපිළිවෙලක් ආරම්භ කරන්නේ.ඒ නිසා යම් යම් බාධාවන් සිදු වෙයි, අපි උත්සහ කරනවා 100% ක්ම සාර්ථකව මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න.මෙහි ගෞරවය ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට හිමිවිය යුතුයි.අපේ දරුවන්ට අපි හැකි උපරිමයෙන් පෝෂදායි ආහාර වේලක් ලබා දෙනවා, මේක දිව්‍ය භෝජනයක් නොවෙන්න පුලුවන්, සම්බෝල ටිකක් සමඟ හාල්මැස්සෙක් බැදලා බත් වේලක් දෙන්න පුලුවන් නම් කුසගින්නේ ඉන්න දරුවෙකුට මහත් අස්වැසිල්ලක් වෙයි.අපේ පරමාර්ථය අපට හැකි ආහාර වේලක් ලබා දීමයි.
අපි කොට්ඨාශ මට්ටමින් මේ වැඩසටහන කරන්නේ, යම් කෙනෙක් මේ වැඩසටහනට පරිත්‍යාගයන් සිදු කරන්න කැමති නම් කොට්ඨාශ කාර්යාල වලට එම ද්‍රව්‍ය ආධාර සිදු කළ හැකියි. යැයි පැවසීය.
තිසර සමල් – අනුරාධපුර