ශ්‍රී ලංකාවේ ප්‍රථම අගමැති මහාමාත්‍ය ඩී.ඇස්. සේනානායක මහතාගේ 138 වෙනි ජන්ම දිනය අදට (20) යෙදී ඇත.
වර්ෂ 1884 ඔක්තෝබර් මස 20 වෙනි දින මීරිගම, බෝතලේ වලව්වේදී උපත ලද ඩී.ඇස්. සේනානායක මැතිතුමා මුදලිදු දොන් ස්පේටර් සේනානායක මහතාගේ සහ කැතරින් එලිසබෙත් පෙරේරා මාතාවගේ පවුලේ සිව්වන දරුවා වේ.
1912 දී පිහිටුවන ලද අමද්‍යප සභාවෙන් ක්‍රියාකාරි සමාජ සේවයට පිවිසි ඩී.ඇස්. සේනානායක මහතා ලංකා ජාතික සංගමයේ ද සභාපතිවරයෙකු ලෙස කටයුතු කළේය.
1946 වසරේ සැප්තැම්බර් 06 වෙනි දින පිහිටුවා ගන්නා ලද එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පත් සේනානායක මහතා 1947 වසරේ පැවති ප්‍රථම පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පසු ලංකාවේ ප්‍රථම අග්‍රමාත්‍ය ධූරයට පත් විය.
1947 සිට 1952 දක්වා ලංකාවේ අගමැති ධූරය හෙබ වූ ඩී.ඇස්. සේනානායක මහතා 1952 මාර්තු මස 22 දින හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත විය.
උඩරට ව්‍යවහාරයට අනුව අප්පච්චි පහත රටදි හඳුන්වන්නේ තාත්තා යනුවෙනි. පොදු ව්‍යවහාරයට අනුව පියාණන්ය. පියාණන් යනු සෑම විටම දුරදිග බලා කටයුතු කරන්නෙකි. පරාර්ථය මූලික කර ගත්තෙකි. සෑමවිටම තමාට පෙර තම දූ දරුවන් ගැන සිතන්නෙකි. සැබැවින්ම රටකට බිහිවන සැබෑ නායකයකුට ඇත්තේ ද පියකුගේ මෙන් දූරදර්ශී බවකි. පරාර්ථකාමී හැඟීමකි. එහෙත් රටකට එවැනි නායකයන් බිහිවන්නේ දුර්ලභවය. නූතන ශ්‍රී ලාංකික ජාතියේ පියාණන් ලෙස සැලකෙන දොන් ස්ටීවන් සේනානායක හෙවත් ඩී.එස්. සේනානායකයන් අප සඳහන් කළ ආකාරයේ විශිෂ්ටයෙකි;අප රට අද කෘෂිකාර්මික සහ සමාජීය අතින් යම් දියුණුවක් ලබා ඇත්නම් එහි සමාරම්භය ලබාදුන්නේ ඩී.එස්. සේනානායක මැතිඳුන්ය.
ඔහු කිසිදු විටෙක ආගම්වාදියකු හෝ ජාතිවාදියකු නොවීය. ඔහුගේ මූලික පරමාර්ථය වූයේ සිංහල, දෙමළ සහ මුස්ලිම් සමඟියෙන් යුතු රටක් බිහිකිරීමයි. ලංකා ජාතික සංගමය මෙන්ම පසුකාලීනව එක්සත් ජාතික පක්ෂය බිහිකරන්නේද මෙම සංහිඳියා මූලධර්මයට අනුවය. ඔහු බිහිකළ මේ එක්සත් ජාතික පක්ෂය සිංහල, දෙමළ සහ මුස්ලිම් යන සියලු ජාතීන්ගේ හා නායකයන්ගේ එකමුතුවක් විය. ඩී. එස්. සේනානායක මහතාගේ දේශපාලන දර්ශනය තුළ ජාතිවාදී ස්ථාරවයක් නොතිබුණද ඔහු සිංහල ජනතාව කෙරේද අවධානය යොමුකළේය. ඩී. එස්. යුගය ගොවිකමට විශාල ඉඩක් ලබාදුන් යුගයක් ලෙසද හඳුන්වාදීමේ වරදක් නැත. ගොවිජනපද ව්‍යාපාර අරඹමින් එතෙක් වනවැදී තිබූ රජරට දිගාමඬුල්ල වැනි ප්‍රදේශවල ජලාශ, වාරිකර්මාන්ත නැවත ඉදිකරමින් ගොවිජනපද ක්‍රමවේදය ශක්තිමක් කළේය. දිවයිනේ සෙසු ප්‍රදේශවල ජනයාද මෙම ගොවිජනපදවලට යොමුකරමින් නැවුම් කෘෂිකාර්මික යුගයක් වෙත සමාරම්භයක් ලබාදුන්නේය. එදා ඩී. එස්. මැතිඳුන් ලබාදුන් මේ ආරම්භය නිසා අදවන විට කෘෂිකාර්මික අංශයෙන් ස්වයංපෝෂිත රටක් බවට මෙරට පත්ව තිබේ. එදා රට සහල් ආනයනය කළ අපට අද දේශීය සහල් රසවිඳීමට පුළුවන්කම ලැබී ඇත්තේ සේනානායකයන්ගේ දුර දක්නා නුවණ නිසාය. සමාජ සුබසාධනය කෙරේද සේනානායකයන් සුවිශාල අවධානයකින් යුතුව කටයුතු කළේය.
පරාක්‍රමබාහු යුගයෙන් පසු මෙරට යළි කෘෂි යුගයකට අඩිතාලම දැමුවේ සේනානායකයන්ය. 1884 ඔක්තෝම්බර් 20 මීරිගම, බෝතලේ දී උපත ලද ඩී. එස්. සේනානායක මහතා අවුරුදු හැට අටක් තරම් වූ කාලයකදී ඉටුකළ මහා මෙහෙවර එතෙක් මෙතෙක් කල් මහා සේවයක් කළ නායකයා යැයි සඳහන් කිරීම අතිශයෝක්තියක් නොවේ.
අමද්‍යප ව්‍යාපාරයේද ප්‍රමුඛ ක්‍රියාකාරියකු වූ ඩී.ඇස්. සේනානායක මෙරට විනය ගරුක හා අමද්‍යප සමාජයක් ගොඩනැඟීම සඳහා කටයුතු කළේය. සේනානායකයන් ඉටුකළ කාර්යයන් අතර මිනිපේ ඇළ යෝජනා ක්‍රමය ඉදිකිරීම, මහියංගණ චෛත්‍ය ප්‍රතිසංස්කරණය කිරීම, ගල්ඔය ව්‍යාපාරය ඇතුළු ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීම. සේනානායකයන්ගේ මහා කාර්යයන්ගේ සුළු කොටසකි. මෙම නව සංවර්ධන ව්‍යාපෘති නිසා නව නගර හා මං මාවත් ඉදිව රජරට දිගාමඬුල්ල වැනි දුරබැහැර ප්‍රදේශයන්හි අලුත් ශිෂ්ටාචාරයකට ඇවැසි පසුබිම නිර්මාණය කළේය.
දිගු කාලීනව සමාජයේ මුල්බැසගෙන තිබූ වැවයි දාගැබයි ගමයි පන්සලයි සංකල්පය යළි ඉස්මතු කරවීමේ කාර්යයටද සේනානායක චින්තනය ක්‍රමවත් පිටිවහලක් විය.
අද වනවිට රාජ්‍ය නායකයන් ගණනාවක් මෙරට පාලනය කර තිබුණද ඩී.එස්. සේනානායක මහතා තරම් දුරදිග බලා සැලසුම් සහගතව රට පාලනය කළ රාජ්‍ය නායකයෙකු සිටියේද නැත. අනාගතයේදී බිහිවේ යැයි සිතීමටද බැරිය. සේනානායකයන් දුර්ලභ ගතිගුණ ප්‍රතිපත්තිවලින් හෙබි නායකයකු යැයි හඳුන්වාදීමේ වරදක් නැත. එමෙන්ම ඩී.එස්.සේනානායකයන් ගැමි පෙදෙසක ඉපිද ගැමි ජනතාවගෙ සිතුම් පැතුම් හඳුනාගත්තෙකු යැයි සඳහන් කිරීම නිවැරැදිය. ඔහු පිළිබඳව මතකය අවදිකරන පැරැන්නන් සඳහන් කරන්නේ සේනානායකයන් තුළ කැත්ත, උදැල්ල, නඟුල හුරු වෙලේ කමතේ ඇවිද ගිය සැබෑ ගැමියකු ජීවත්වූ බවය.ප්‍රභූ පවුල් පසුබිමක් සහිත වූවෙකු වුවද ඔහු වැඩිපුර ආදරය කළේ ගැමි සමාජයටය.
1930 දශකයේදී ඩී. එස් .සේනානායක මහතා හඳුන්වාදුන් ප්‍රතිපත්තිය නිසා රට තුළ ප්‍රබල විපර්යාසයක් ඇති වී යැයි සඳහන් කිරීම අතිශයෝක්තියක් නොවේ. වෘත්තියක් ලෙස ගොවිකමට යම් අගයක් ලැබුණානම් ඒ සේනානායකයන්ගේ මැදිහත්වීම නිසා යැයි සඳහන් කිරීම නිවැරැදිය.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇතුළු බොහෝ අංශවලින් විවෘත විවේචන එල්ල කිරීම් හා සෘජු අදහස් පළකිරීමද කළේය. සේනානායක අගමැතිවරයා තම කෘෂිකර්ම ප්‍රතිපත්තිය ශක්ත්මත් කිරීම සඳහා සියපුත් ඩඩ්ලි සේනානායක මහතා කෘෂිකර්ම ඇමැතිවරයා ලෙස පත්කර ගත්තේය. ඔහු මෙම පත්වීම කළේ තමන්ගේ කෘෂි ප්‍රතිපත්තිය වඩාත් ශක්තිමත් කිරීමේ අරමුණ ඇතිවය.
1930 දශකයේදී ඩී. එස්. සේනානායක මහතා දේශපාලන කරළියට නොපැමිණියේ නම් ඔහු තමන්ගේ දේශපාලන, ආර්ථික හා කෘෂිකාර්මික ප්‍රතිපත්තිය අනුගමනය නොකළේ නම් වර්තමානයේ රටේ ඇති යම් ධනාත්මක තත්ත්වයක් තිබේ නම් එයද නැතිවීමට ඉඩ තිබුණි.
මෙරට නිදහස ලබාගැනීමෙන් පසු යම් ස්ථාවර ගමන් මඟික් වෙත රට ප්‍රවිශ්ට වූයේ සේනානායක ප්‍රතිපත්තිය නිසා වන අතර ඔහු රට පාලනය කළ කාලයේදී රට තුළ ස්ථාවර තත්ත්වයක් හා ආර්ථික වශයෙන් විශාල වර්ධනයක් දක්නට තිබුණි. එම ස්ථාවරත්වය එවක කලාපයේ බොහෝ රටවල නොතිබුණි. ඩී. එස් . අනුගමනය කළ පිළිවෙතෙහි නොකැඩී තවත් ඉදිරියට ගමන් කළ හැකිව තිබුණේ නම් රටෙ වර්තමානය අදට වඩා ප්‍රභාවත්වීමට ඉඩ තිබුණි.
පියකු මෙන් රට ජාතියට මඟ පෙන්වූ සේනානාකයන් රටෙන් කිසිවක් ලබානොගෙන තමන්ගෙන් රටට ඉටුවිය යුතු සියල්ල ඉටු කළේය. කෘෂිකර්මය මූලික කරගත් පිළිවෙතකින් ආර්ථිකය සවිබල ගැන්වීමට සැලසුම් කළ ඩී. එස්. සේනානායක, වාර්ගික සහජීවනය පිළිබඳව දුරදිග බලා කටයුතු කළ නායකයකු ලෙස සඳහන් කළ යුතුය.
රැකියා පිළිබඳ අනාගතයේදී ඇති විය හැකි ගැටලු සහ ඒ නිසා සමාජය තුළ ඇතිවිය හැකි යැයි අනුමාන කළ තත්ත්වයන් කලින්ම තේරුම් ගත් ඩී. එස්, කෘෂිකර්මාන්තය ගෞරවනීය වෘත්තියක් කරන අතර ගොවිකම ජීවිතය ගෙන යා හැකි වෘත්තියකැයි සමාජයට තහවුරු කළේය.
අදත් රජරට, දිගාමඬුල්ල ඇතුළු දුරබැහැ ප්‍රදේශවල කෘෂිකර්මාන්තයට වෘත්තිමය තැනක් ලැබීම මෙන්ම රැකියා ගැටලුවලට විසැඳුමක් ලබා දෙන්නක් බවට කෘෂිකර්මාන්තය පත්ව තිබෙන්නේ ඩී. එස්. ගේ සැලැසුම්වල අනුහසිනි. මෙරට යළිත් පැරකුම් යුගයක් නිර්මාණය කිරීමේ යුග නියමුවා ලෙසද ඩී. එස්. සේනානායක මැතිඳුන්ගේ නාමය සඳහන් කළ යුතුය.
1931 මීරිගම ආසනයට නිතරගයෙන් පත්වූ ඩී. එස්. සේනානායකයන් බොහෝ අය මෙන් තම ප්‍රදේශය ගැන පමණක් කල්පනා කර ප්‍රාදේශීයවාදය ක්‍රියාත්මක නොකළ අතර ඔහු නිතරම කල්පනා කළේ සමස්ත සමාජයත් මුළු රටත් පිළිබඳවය.
1948 නිදහස් ලංකාවේ පළමු අගමැතිවරයා වූ ඩී. එස්. දේශපාලන නිදහස පිළිබඳවත්, ජනතාවගේ ආර්ථික නිදහස පිළිබඳවත් විශාල අවධානයකින් කටයුතු කළේය. ඔහු විශාල ලෙස කල්පනා කළ කරුණක් වූයේ ආර්ථික නිදහසකින් තොර දේශපාලන නිදහසකින් ප්‍රතිඵලක් නොවන බවයි. ඔහුගේ මේ සංකල්පය අදටත් වලංගුය.
ඩී. එස් . සේනානායක ආණ්ඩු කළ කාලය ගතව බොහෝ කල් ගියද ඔහු ඉටුකළ මෙහෙවර මෙන්ම ප්‍රතිපත්ති හා දර්ශනයද අදත් රටට අතිශය වැදගත් දේ බවට පත්ව තිබේ. ඩී. එස්. සේනානායකයන්ගේ දර්ශනය සර්ව කාලීය යැයි අප සඳහන් කරන්නේ එබැවිනි.