Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ප්‍රදේශ කිහිපයකට අධික වැසි – කළුතරට අනතුරු ඇඟවීම් – ජනතාවට දැනුම් දීමක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය තවදුරටත් පවතින බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය තවත් දින පහක් පමණ පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, සහ වයඹ පළාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රිකක්වලටත් මිලිමීටර 100ක පමණ තද වැසි ඇති විය හැකි වේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවලට මිලිමීටර 75 ක පමණ තද වැසි ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි අකුණු අනතුරු වලින් ආරක්ෂා වන්නැයි, කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ චතුෂ්කා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ජනතාවට දැනුම් දෙයි.

මේ අතර රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවලට පැනවූ නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කළේ ය.

රත්නපුර දිස්ත්‍රික්කයේ නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත්කර ඇත්තේ ඇහැළියගොඩ, කුරුවිට, රත්නපුර, ඇලපාත, අයගම, කිරිඇල්ල, පැල්මඬුල්ල, නිවිතිගල සහ කලවාන යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහායි.

කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය, බුලත්සිංහල, වලල්ලාවිට, පාලින්දනුවර සහ දොඩම්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරිණි.

පවතින අධික වර්ෂාවත් සමඟ දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම ජලයෙන් යටවී තිබේ.

මේ හේතුවෙන් කුඩා ප්‍රමාණයේ රථවාහනවල ගමනාගමනයට බාධා එල්ලවී තිබේ.

අප වාර්තාකරු වැඩිදුරත් පැවසුවේ වැලිපැන්න පිවිසුම ආසන්නයේ ස්ථාන දෙකක මාර්ගය මෙලෙස ජලයෙන් යටවී ඇති බවය.

මේ අතර අධිවේගී මාර්ග නඩත්තු ඒකකය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ විකල්ප පිවිසුම් මාර්ග භාවිත කරන ලෙසටය.

ඒ අනුව දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොළඹට හෝ ගාල්ල දෙසට ගමන්කිරීමට බලාපොරොත්තුවන රියදුරන්ට ඒ සඳහා කුරුඳුගහහැතැක්ම හෝ දොඩංගොඩ පිවිසුම් භාවිත කිරීමේ අවස්ථාව පවතී.

ඉදිරි පැය කීපයේ ඇතිවිය හැකි වර්ෂාවත් සමග කළුතර දිස්ත්‍රික්කයේ හදිසි ගංවතුර තත්වයක් ඇතිවිය හැකි නිසා අවදානයෙන් සිටින්නැයි ගංගා සහ පහත්බිම් ආශ්‍රිත ප්‍රදේශවල පදිංචි ජනතාවට දැනුවත් කෙරේ.

දොඩම්ගොඩ,වලල්ලාවිට, ඉංගිරිය, බුලත්සිංහල සහ පාලින්දනුවර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල නායයාමේ අවදානම් තත්වයක් ඇතිවිය හැකි බවට අදියර එක යටතේ පතල් හා භූවිද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමේ නිවෙිදන නිකුත් කර අතැයි ආපදා කළමනාකරණ ඒකකයේ කළුතර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ කර්නල් අරවින්ද අමරසේකර මහතා කීවේය.

කළුතර මතුගම මාර්ගයේ ස්ථාන කීපයක මාර්ග දෙපස කාණු හා බෝක්කු අවහිරවිමෙන් සුළු පිටාර තත්වයක් පැවති බවත් මතුගම වෝගන් වතුයාය පිවිසුම් මාර්ගයේ වතු නිවාස අසල තාප්ප හතරක් කඩා වැටි තිබු බව සහකාර අධ්‍යක්ෂක අරවින්ද අමරසේකර මහතා පැවසීය.

කුකුලේ ගඟ බලාගාරයේ වාන්දොටු ඊයේ රාත්‍රි 8.00 වනවිටත් විවෘත්ත කර නොතිබු අතර කළුතර දිස්ත්‍රික්කයට මිලිමිටර් 75ක පමණ වර්ෂාවක් ලැබෙන බව දි ස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේය.

මේ අතර  එළැඹෙන මහ කන්නයේ වී වගාව සඳහා වූ මූලික බිම් සකස් කිරීම් වැසි ජලයෙන් සිදුකරන්නැයි, වාරිමාර්ග දෙපාර්තමේන්තුව ගොවි ජනතාවට දැනුම් දෙයි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ, ජල කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ ඉන්ජිනේරු, D අබේසිරිවර්ධන මහතා සඳහන් කළේ , දැනට ජලාශවල පවතින ජල ධාරිතාව ආරක්ෂා කරගැනීම වෙනුවෙන් එම පියවර ගත් බවයි.

Scroll to Top