දැඩි නීතිරීති පනවා හෝ වැඩබිමේ කම්කරුවාගේ සෞඛ්‍ය සහ සුරක්ෂිතතාව තහවුරු කරන බවත්, අනතුරක දී රක්ෂණ අරමුදලක් හරහා නඩු නොමැතිව වන්දි ලබා දීමේ ක්‍රමවේදයක් නිර්මාණය කරන බවත්, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවැසීය. කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී සමාරම්භ වූ ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය සතියේ සමාරම්භක සැසිය අමතමිනි.
සෑම වසරක ම ඔක්තෝබර් දෙවන සතිය ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය සතිය ලෙසින් කැබිනට් මණ්ඩලය විසින් ම ප්‍රකාශයට පත් කර ඇති බවත්, වැඩ කරන ජනතාවගේ වෘත්තීය සුරක්ෂිතතාව සහ සෞඛ්‍ය සම්බන්ධයෙන් ප්‍රමාණවත් අවධානයක් යොමු නොකරන්නේ නම් ආර්ථික ඵලදායීතාවයේ උපරිම ය ළගා කර ගත නොහැකි බවත් එහි දී ප්‍රකාශ කළ ඇමැතිවරයා, තවදුරටත් මෙසේ ද පවසා සිටියේ ය.
‘වෘත්තීය අනතුරු හා රෝග නිසා ලෝකය පුරාම සිදු වෙන මානව හා ආර්ථික පාඩුව අති විශාලයි. ජාත්‍යන්තර කම්කරු සංවිධානය තමන්ගේ දත්තවලින් පෙන්වා දෙන්නේ සෑම රටක ම දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට හතරක් පමණ වෘත්තීය අනතුරු හා රෝග නිසා අපතේ යන බවයි.
අපේ රටේත් වෘත්තීය අනතුරුවලින් විතරක් හැම අවුරුද්දක ම වැඩ කරන මිනිස් දින ලක්ෂ පහකට වැඩි ප්‍රමාණයක් අපතේ යනවා. ඉදිකිරීම් ක්ෂේත්රයේ මරණීය අනතුරු විස්සකට වැඩි ප්‍රමාණයක් වාර්තා වෙනවා. මේ බොහෝ අනතුරු සිදු වෙන්නේ ඉහළ ස්ථානවල වැඩ කරද්දී නිසි සුරක්ෂිතතා ක්‍රියාමාර්ග අනුගමනය නොකිරීම නිසයි. මෙමගින් සිද්ද වෙන මානව හා ආර්ථික හානිය මූල්‍යමය වශයෙන් සැලකුවොත් ඉතා විශාලයි. ඒ නිසා තමයි වැඩකරන ජනතාවගේ වෘත්තීය සුරක්ෂිතතාව සහ සෞඛ්‍ය සම්බන්ධයෙන් නිසි අවධානයෙක් යොමු නොකර ආර්ථික ඵලදායීතාවයේ උපරිම මට්ටමට ළගා වෙන්න බැරි.
ඒ නිසා මේ සම්බන්ධයෙන් සමාජය නිසිලෙස දැනුම්වත් කිරීම අපට ඉතා ම වැදගත්. ලෝකයේ ඕනෑ ම වැඩබිමක් සිය සුරක්ෂිතතාව සම්බන්ධයෙන් ගත යුතු උපරිම පියවර අරගෙන තියෙනවා. නිසි ආරක්ෂිත ඇදුම්පැලදුම් නොමැති ව සාමාන්‍ය පුද්ගලයකුට කර්මාන්ත ශාලාවකට ඇතුළු වීමට පවා හැකියාවක් නෑ. වැඩබිම සුරක්ෂිතතාවය පිළිබද වෘත්තිකයා වගේ ම අනෙක් ප්රජාවත් දැනුවත් ව ඉන්න ඕනෑ ඒ නිසයි. සුරක්ෂිත සහ සෞඛ්යාරක්ෂිත වැඩබිමක සංස්කෘතියක් බිහිවෙන්නේ එහෙම දැනුවත් වුණොත් විතරයි. කම්කරු අමාත්‍යංශය විදියට අපි එයට ජාතිකමය වටිනාකමක් දිය යුතුයි.
රටවල් දියුණු වෙද්දී වැඩි වැඩියෙන් නීතිරීතිවලට අනුගත වෙනවා. කලක් යද්දී නීති රීති නියාමනයක් නොවුණත් ජනතාව ඒවාට අනුගත ව ස්වයං ව කටයුතු කරනවා. ආරක්ෂිත හිස්වැස්මක් පැළදගෙන යතුරුපැදි ධාවනය කරන එක අපිත් මහා කරදරයක් කියලා හිතුව කාලයක් තිබුණා. නීති-රීති දැඩි කරලා පොලීසියෙන් දඩ ගහන්න ගත්තා ම හෙල්මට් එක දාගෙන යන්න පුරුදු වුණා. අද අපි පොලිසිය ඇල්ලුවත් නැතත් හෙල්මට් නැතිව යන්නේ නැති තැනට ඇවිත් ඉන්නවා. ඒ අපි අපේ ජීවිතේ ආරක්ෂාව ගැන හිතන නිසා.
ආරක්ෂාව කියන එක සමාජයක් තේරුම් ගන්නේ නැත්නම් ඒක නීතියක් විදියට ක්‍රියාත්මක කරන්න වෙනවා. ඒ නිසා තමයි අමාත්‍යංශය විදියට අපි කම්කරු නීතිය ක්‍රියාත්මක කරන්නේ. ජාත්‍යන්තරය නිරන්තරයෙන් මේ තත්ත්වය නිරීක්ෂණය කරනවා, අවධානයෙන් ඉන්නවා. රටක නිෂ්පාදනය හොද වුණාට මදි, එය නිපදවන කර්මාන්ත ශාලාවේ සේවකයාගේ සුරක්ෂිතතාව, ආරක්ෂාව සහ සෞඛ්‍ය පිළිබද සැලකිලිමත් විය යුතුයි. ජාත්‍යන්තරය කටයුතු කරන්නේ ඒ විදියටයි. රටක් විදියට ඉදිරියට යද්දී ජාත්‍යන්තර අවශ්‍යතාවන් සහ නිර්ණායක අනුව අවම මූලික නීතිරීති ටිකට හෝ අනුගත විය යුතුයි. එනිසා මේ මට්ටම දවසින් දවස ඉහළ නංවන්න අමාත්‍යංශය විදියට අපට දිය හැකි උපරිම දායකත්වය සපයනවා.
විදෙස් රැකියා අමාත්‍යංශය විදියට අපි දකින දේ තමයි රැකියාවන් සදහා අපේ අය පුහුණු කරන්න ටිකක් අමාරුයි කියන එක. වැඩි දෙනෙක්ට තියන අමාරුම දේ තමයි නියමිත පුහුණුව නියමිත පරිදි ලබා ගැනීම. එහෙම වුණා ම අපේ අය දන්නේ නෑ වැඩබිමක සිටිය යුත්තේ කොහොමද කියන එක. ඒකෙන් වෙන්නේ අනතුරුවලට මුහුණ පෑමට සිදුවීම. අපි නිසි පුහුණුවක් සහිත ව යොමු කළොත්, තමන්ගේ කාර්යය පමණක් නෙවෙයි, ආරක්ෂාව පිළිබදත් පුහුණුවක් සහිත ව යොමු කළොත්, ඒ පිරිස රැකියාගත කිරීමේ දී වැඩි අවස්ථාවක් ලබා ගන්න පුළුවන්. මෙහේ හෙල්මට් දාන්න බෑ කියන, ඕවරෝල් අදින්න බෑ කියන, ගල් බූට් දාන්න බෑ කියන සියලු දෙනා විදෙස් රැකියාවට ගියාට පස්සේ හරි අගේට ඒ දේවල් කරනවා. ඒ නිසා අපිත් එතනට යාමට අවශ්‍ය මානසිකත්වය නිර්මාණය කරන එකයි ප්‍රධාන වශයෙන් කළ යුත්තේ.
මේ සියල්ල අනතුරක් වෙන්න පෙර කළ යුතු දේවල්. අනතුරක් වළක්වා ගන්න, වැඩ බිමේ දී අනතුරක් සිදු නොවෙන්න කළ යුතු දේවල්. අමාත්‍යංශ ලේකම්වරයා, කම්කරු කොමසාරිස් ජෙනරාල්වරයා පුමුඛ දෙපාර්තමේන්තු නිලධාරීන් මේ වන විට ජාත්‍යන්තරයත් සමග සම්බන්ධ වෙමින්, ලෝක කම්කරු සංවිධානයේ සහයෝගය ඇති ව මේ සම්බන්ධයෙන් ඉතා ප්රශස්ත වැඩපිලිවෙලක් සකසමින් ඉන්නවා.
කම්කරුවකුට, වැඩ කරන සේවකයකුට යම් අනතුරක් වුණොත් එයට අදාළ වන්දිය ගන්න, වන්දි කොමසාරිස් කාර්යාලයට ගිහිල්ලා, නඩු දාලා, අවුරුදු ගාණක් බලන් ඉන්න ඕනෑ. ඇගිල්ලක්, අතක් කැඩුණු එකට විතරක් නෙවෙයි, ජීවිත හානියකටත් වන්දි ගන්න අවුරුදු ගාණක් දුක්විදින්න වෙලා තියෙනවා. ලැබෙන්නේ සොච්චම් මුදලක් විතරයි. රැකියාව අහිමි වුණොත් ඒකටත් නඩු කියන්න වෙනවා. අවුරුදු ගාණකට පස්සේ නඩු ගාස්තුත් නැතිව, බස් ගාස්තුත් නැති ව සොච්චමක් ලැබෙනවා. බැරි වෙලාවත් පූර්ණ දුබලතාවකට ලක් වුණොත් ජීවිතේ ඉදිරි කාලය ම අනාරක්ෂිතයි.
අපි රජයක් විදියට එවන් තත්ත්වයකට පත් වන සියලු දෙනා ම ආවරණය වෙන විදියට සමාජ ආරක්ෂණ දැලක් නිර්මාණය කරනවා. නඩු නොගිහින් වන්දි ගෙවන ක්‍රමවේදයක්, රක්ෂණ අරමුදලක් හරහා වන්දි ගෙවන වැඩපිළිවෙළක් නිර්මාණය කරන්න කටයුතු කරමින් ඉන්නවා‘.
කර්මාන්ත ශාලා සදහා සුරක්ෂිතතා අත්පොත් ප්රදානය කිරීම, සුරක්ෂිතතා පුහුණු වැඩසටහනේ සහතිකපත් ප්රදානය, මාර්ගගත ක්‍රමය ඔස්සේ කර්මාන්තශාලාවල සුරක්ෂිතතා කමිටු පිහිටුවීම හා ස්වං විගණන වාර්තා ලබා ගැනීම ද මෙහි දී සිදු කෙරුණි. කම්කරු හා විදේශ රැකියා ආර්. පී. ඒ. විමලවීර, කම්කරු කොමසාරිස් ජෙනරාල් නීතීඥ බී. කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති යන අය ද සභාව ඇමතූහ.