කඨින චීවර පූජා කරන මාසයේ සමාරම්භක දිනය අදින් ඇරඹෙයි. එබැවින් මේ චීවර මාසය යි. සෑම වසරක ම ඇසළ මහේ සිට වප් මහ දක්වා යෙදෙන වස් කාලය බෞද්ධයා ගේ පුණ්‍ය කාලය යි. වස් පින්කම් මාලාව අවසන් වනුයේ කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවයෙනි.
කඨින චීවර පූජාව ආරම්භවීමට අමතරව වප් පුර පසළොස්වක පොහොය දිනය හා සබැඳි ඓතිහාසික සිදුවීම් කිහිපයකි. ඉන් පළමුවැන්න නම් සත් වැනි වස් කාලය තව්තිසා දිව්‍ය ලෝකයෙහි ගත කළ බුදුරදුන් සංකස්ස නගර ද්වාරයට වැඩම කිරීම යි. එදා මහා පිරිසක් සංකස්ස නගර ද්වාරයට එක්රැස් වූ හ.
දිව්‍ය බ්‍රහ්ම සමූහයා ගේ පංචතූර්ය වාදනයන් හා සාධු නද මධ්‍යයේ අප්‍රමාණ බුද්ධශ්‍රීයෙන් සංකස්ස නගර ද්වාරයට බුදුරදුන් වැඩම කළ කල්හි ඒ අසිරිය දුටු සියල්ලෝ ම බුදුවන්නට ප්‍රාර්ථනා කළහ. මෙම පූජෝත්සවය “දේවාවරෝහණ” නම් විය. මෙය දැකීමෙනුත්, බුදුරදුන් හා සැරියුත් මාහිමියන් අතර වූ ප්‍රශ්න විසර්ජන සාකච්ඡාව ශ්‍රවණය කිරීමෙනුත් අපමණ ප්‍රසාදයට පත් මෛත්‍රෙය බෝසතාණන් වහන්සේ අප ගෞතම බුදුරජාණන් වහන්සේ ගේ සසුනෙහි පැවිදි බවට පත්වූයේ ද වප් පොහොය දිනෙක ය.
අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ නියමයෙන් දේවානම්පියතිස්ස රජුගේ සංදේශයත්, තුටු පඬුරුත් රැගෙන ලක්දිව අරිට්ඨ කුමරු ප්‍රමුඛ රාජකීය දූත පිරිසක් දඹදිව පැළලුප්නුවර සිටි ධර්මාශෝක අධිරාජයා වෙත පිටත්කොට හැරියේත් වප් පොහොය දිනෙක ය. සඟමිත් තෙරණිය සිරිලකට වැඩම කරවා ගෙන ලක්දිව පැවිද්ද බලාපොරොත්තුවෙන් සිටි අනුලා දේවිය ප්‍රමුඛ කුල කතුන් සසුන්ගත කරවීම එම දූත චාරිකාවෙහි අභිප්‍රාය විය.
අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ මහා අරිට්ඨ මහරහතන් වහන්සේ ඇතුලු මහරහතන් වහන්සේ සැට අට නමක් දහසක් භික්ෂූන් වහන්සේ ද සමඟ ථූපාරාම විහාර මධ්‍යයට රැස්ව වප් පුර පසළොස්වක පොහෝදා විනය සංගායනාව ආරම්භ කළහ. මෙම ථූපාරාම විනය සංගායනාව පැවැත්වීමට කටයුතු සූදානම් කළේ දේවානම්පියතිස්ස මහ රජු ය.
දඹදිව සමාජ පරිසරය තුළ ඉතා ඈත අතීතයේ පටන් ම හේමන්ත, ගිම්හාන හා වස්සාන යනුවෙන් වසරකට ඍතු තුනක් පැවතිණ. වසන්ත ඍතුවක් ද මීට එක්කොට ඇතැම් තැනෙක ඍතු සතරක් ලෙස ද දැක්වෙයි. වස්සාන ඍතුවේ වැසි සාර මාසය අතුරෙන් මුල් මාස තුන තුළ උපසපන් භික්ෂූන් වහන්සේ වස් සමාදන් ව වැඩ සිටිති. වස් පින්කම් මාලාව නිමාවට පත් කෙරෙන කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවය වප් පුර පසළොස්වක පොහෝදා සිට ඇරඹෙයි. එය සිදු කළ හැකි අවසාන දිනය ඉල් පුර පසළොස්වක පොහොය දිනය යි.
කඨින පූජාව හා සමගාමීව පෙරහර, තොරණ, සැරසිලි, පහන් පූජා, බෝධි පූජා, පිරිත් දේශනා, ධර්ම දේශනා, සාංඝික දාන පූජා, කප් රුක් පූජා ආදී විවිධාකාර පූජා චාරිත්‍ර සිදු කෙරේ. ඒ ඒ පළාත්වලට ආවේණික වූ ලක්ෂණ අනුව එම පූජා චාරිත්‍රවල විශේෂතා දැකිය හැකි ය. මෙම චාරිත්‍රවල ඇතැම් අංග කාලානුරූපීව සකස්ව ඇති අතර ඇතැම් අංග සාම්ප්‍රදායිකව පවත්නා පෞරාණික චාරිත්‍ර ගණයට අයත් වේ.
වස් පවාරණය කළ භික්ෂූන් වහන්සේට චීවර පූජා කරන දිනයේ අලුයම කඨින චීවරය හෝ කඨින වස්ත්‍රය විහාරස්ථානයට වැඩමවීම සාම්ප්‍රදායික චාරිත්‍රය යි. මේ වන විට ඒ වෙනුවෙන් අතිඋත්කර්ෂවත් පෙරහරක් පවත්වනු දැකිය හැකි ය. මෙම පෙරහර සඳහා කැපකරු දායක පක්ෂයේ ශක්තිය අනුව අලි ඇතුන්, හේවිසි තූර්යවාදන, නැටුම් ආදී විවිධ සංස්කෘතික අංග එක්වන බැව් පෙනේ. මෙම කඨින පෙරහර වීදි සංචාරය කරනුයේ ඒ ඒ විහාරස්ථානවලට අයත් ගොදුරුගම් හා ඒ අවට ගම් ආවරණය වන පරිද්දෙනි. සැදැහැවත් විශාල පිරිසකට කඨින පින්කමෙහි ආනිසංස අනුමෝදන්වීමට ඉඩ ප්‍රස්තාව සැලසීම මෙම පෙරහරෙහි ප්‍රධාන පරමාර්ථය යි. ඇතැම් ප්‍රදේශවල කඨින වස්ත්‍රය මොහොල් ගසක ඔතා දෙදෙනකු කර තබාගෙන උඩුවියන් යටින් ගමින් ගමට ගෙන යනු දැකිය හැකි ය. මේ නිසා මඟ දෙපස රැස්වන සැදැහැතියන්ට කඨින වස්ත්‍රය සියතින් ම ස්පර්ශ කොට පින් අනුමෝදන් වීමේ භාග්‍යය හිමි වෙයි.
මෙලෙස තුන්යම් රාත්‍රිය පුරාම හෝ අලුයම් කාලයේ ගමින් ගමට වීදි සංචාරය කළ කඨින පෙරහර අලුයම විහාරස්ථානයට ළඟා වෙයි. කොස් කොළයේ හෝ අඹ කොළයේ නැට්ට පෙනෙන තරමට යන්තම් හිරු උදාවීම කඨින පෙරහර විහාරස්ථානයට ගෙවදීම සඳහා නිශ්චිත වේලාව ලෙස පුරාතනයේ පටන් සම්මතව පැවතිණි. මෙසේ මහත් උත්සවාකාරයෙන් වැඩමකර වූ කඨින වස්ත්‍රය පිළිගන්නා භික්ෂූන් වහන්සේ දායක පක්ෂයෙහි ද සහයෝගයෙන් එහි කඩ කපා කඨින චීවරය සකස් කරති. පුරාතන යුගයේ දී විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් කඨින වස්ත්‍රය ගෙත්තම් කිරීම සිදු කෙරිණි. එහි දී බොහෝ සැදැහැවත්හු නූල් ඇමිණීම, මැසීම ආදි කටයුතු සියතින් ම සිදු කිරීමට මහත් රුචිකත්වයක් දැක්වූ හ. කඨිනය සකස් කිරීම, පූජා කිරීම හා ඇතිරීම යන සියල්ලක්ම එකම දිනක් තුළ සිදු කළ යුතු වෙයි.
කඨින චීවරය මසා නිම කිරීමෙන් පසුව එය සුදු පැහැති වස්ත්‍රයක් නම් සෝදා පිරිසුදු කොට පඬු පෙවීම සිදු කළ යුතු ය. මේ සඳහා සිවුරු රෙද්දක් භාවිත කළේ නම් එහි පඬු පෙවීම සංකේතවත් කිරීම සඳහා සිවුරෙහි කොණක් සේදීම පුරාතන චාරිත්‍රය යි. මෙම විශේෂ අවස්ථාවන් හිදී හේවිසි හොරණෑ වාදනය කිරීමෙන් ශබ්ද පූජා පැවැත්වීම ද පුරාතනයේ සිදු කෙරිණි.
මේ අනුව ගෙත්තම් කොට, පඬු පොවා වේළා සකස් කරගත් කඨින චීවරය කඨින පූජා මණ්ඩපයෙහි උසස් ආසනයක තැන්පත් කෙරෙයි. අනතුරුව එහි රැස් වූ භික්ෂූන් වහන්සේට කඨින චීවරය පූජා කිරීම දායකකාරකාදීන් විසින් සිදු කළ යුතු ය. එහිදී පෞද්ගලිකව නොව උභතෝ සංඝයාට කඨිනය පූජා කිරීම පිළිගත් විනය ප්‍රඥප්තිය යි.
කඨිනය පිළිගත් භික්ෂූන් වහන්සේලා කඨින චීවරය සඟසතු කොට තමන් අතුරෙන් එය ලැබීමට සුදුසු භික්ෂුවක තෝරා උපෝසථාගාරයක් තුළ දී විනයානුකූලව එය පැවරීම සිදු කරති. කඨින චීවරයක් සඟසතු කිරීමට යටත් පිරිසෙයින් උපසපන් භික්ෂූන් වහන්සේ පස් නමක් වත් වැඩසිටිය යුතු ය.
මෙසේ සංඝ සම්මුතියෙන් කඨින චීවරය ලබා ගත් භික්ෂූන් වහන්සේ එහි කප් බින්දුව තැබීම නම් වූ චාරිත්‍රය ඉටුකළ යුතු ය. මොණර ඇසක තරම් ප්‍රමාණයේ කවාකාර බින්දු තුනක් සිවුරේ එක් කොණක තැබීම කප් බින්දුව තැබීම නම් වේ. මෙය සාමාන්‍යයෙන් සටහන් කරනුයේ බුලත් කොළයක් සිවුරේ යටින් තබා ඒ මත උඩින් කවාකාර යතුරකින් තද කිරීමෙනි. මේ තුළින් අලුත් වස්ත්‍රයක් කෙරෙහි ඇතිවන ආශාව යටපත් කිරීම අදහස් කෙරෙයි.
කඨින පූජා චාරිත්‍ර සියල්ලක් ම නිමවීමෙන් පසුව කඨිනත්ථාරක භික්ෂූන් වහන්සේ විසින් කඨිනානිසංස ධර්ම දේශනාව පැවැත්වීම සාම්ප්‍රදායික චාරිත්‍රය යි. බුදුරදුන් දවස වැඩසිටි නාගිත මහ රහතන් වහන්සේගේ උතුම් චරිත කතාව ගෙනහැර දැක්වීම මෙම ධර්ම දේශනයේ කොටසක් ලෙස සිදු කෙරෙයි.
නාගිත තෙරණුවෝ එක් භවයක කඨින පූජාවක් සිදුකොට එම උතුම් කුසලය නිවන් මඟට හේතු වේවා’යි! ප්‍රාර්ථනා කළහ. එතැන් සිට සතර අපායේ නොඉපිද සදෙව් ලොව හා මිනිස් ලොව යන සත් වැදෑරුම් කාම ලෝකයන් හි දෙව් මිනිස් සැප වින්දහ. අවසාන භවයෙහි ඒහි භික්ඛු භාවයෙන් පැවිදිව අර්ථ, ධර්ම, නිරුක්ති සහ පටිභාණ යන සිව් අවබෝධය ද සහිතව සිව්පිළිසිඹියාපත් මහරහතුන් වහන්සේ නමක් බවට පත් වූහ.
ඌරුගමුවේ අස්සජී හිමි
budusarana