Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ලෝක ගුරු දිනය අදයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

දෙගුරුන්ගේ ඇසුරේ උස් මහත් වන හෙට ලෝකයෙහි උරුමක්කාරයන්, නැණ ගුණ පිරි පරපුරක් බවට පත් කරන්නට ඉත සිතින් කැප වන්නේ ගුරුවරුන් ය. ‘අ’ යන්න ‘ආ’ යන්න ද මතු නොව, ජීවත් වීමේ කලාව ද නිවැරැදිව උගන්වන්නට සැබෑ ගුරුවරුන්ට හැකියාව තිබිය යුතුය. මවුපියන්ගේ අතැඟිලිවල එල්ලී දෙපයින් නැගී සිටින්නට හුරු වන දරුවා, පිට කොන්ද සෘජුව තබාගෙන සමාජයෙහි කෙළින් සිට ගන්නට ඉගෙන ගන්නේ ගුරුවරයා වෙතිනි.

ශ්‍රී ලාංකික වෘත්තිය සමිති නායකයකු වූ එම්. පී. මෙන්ඩිස් මහතා 1993දී ලෝක ගුරු සංසදය වෙත කරන ලද ඉල්ලීම තුළ, ලෝකයටම පොදු ගුරු දිනයක් සැමරීමේ එකඟත්වයක් ඇති වීමට මූලික හේතුව සකස් විය. ඒ අනුව ලෝක ගුරු ප්‍රඥප්තිය අත්සන් කිරීමට යෙදුණු 1966 ඔක්තෝබර් 5 වැනිදා සිහිපත් කරමින්, සෑම වසරකම ඔක්තෝබර් 5 වැනිදා ලෝක ගුරු දිනය ලෙස නම් කෙරුණු අතර, එය පළමු වරට සැමරීම ආරම්භ වන්නේ 1994 වසරේදීය.

‘අල්ලට සිඟාවත් රස නැති කැවිලි කකා

වල් කොළ බිම අතුට නිදි නොලැබ දුක් තකා

කල් ගිය රෙදි වැරලි ඇඳ දැලි කුණෙන් වකා

ඇල්මෙන් අකුරු උගනිවු ඉදිරි වැඩ තකා

දශක කිහිපයකට පෙර දරුවකු ලෙස ඇසූ එම උපදේශාත්මක කාව්‍ය, අදත් අප මතක­‌ෙයහි රැඳී පවතී. ඇල්මෙන් අකුරු ඉගෙන ගන්නට නම් පාසල සහ ගුරුවරුන් කෙරෙහි දරුවන්ගේ සිත තුළ ඇල්මක් ඇති විය යුතුය. ගුරුවරුන් කෙරෙහි දරුවන්ගේ සිත් තුළ එබඳු ඇල්මක් ගොඩනැඟෙන්නේ, ඔවුන් මානුෂීය මුහුණුවරකින් යුතුව, දරුවන්ගේ ජීවිත ආලෝකවත් කරන අයුරින් සිය රාජකාරිය ඉටු කරනවා නම් පමණි. වර්තමානය වන විට ලෝකය බෙහෙවින් තරගකාරී තත්ත්වයකට පත්ව තිබේ. අධ්‍යාපනය ද ඒ තරගයෙහි ප්‍රබල කොටසක් බවට පත්ව තිබීම තුළ, ඉගෙනුම් – ඉගැන්වීම් ක්‍රියාවලිය යාන්ත්‍රික වී තිබෙන ආකාරයක් දක්නට ලැබේ. එය දෙවිවරුන් බවට පත්ව තිබූ ගුරු භූමිකාව, ඇතැම් ස්ථානවලදී හෑල්ලුවට ලක් වීමට ද හේතුවක් වීම, කනගාටුදායක ය.

ඇතැම් අයගේ ජීවිත කතාවල හැරවුම් ලක්ෂය බවට පත් වූ ගුරුවරුන් සිටින බව විවිධ චරිත කතා ඇසුරේදී අසන්නට ලැබේ. එබඳු හැරවුම් ලක්ෂ්‍යවලින් ජීවිත යහපත් මඟක් වෙත හරවා යවා ඇති අතීතයේදී බොහෝ අවස්ථාවල අසන්නට ලැබුණ ද, වර්තමානයෙහි පවතින තරගකාරී රටාව හේතුවෙන් දරුවන්ගේ ජීවිත සතුටුදායක පැතිකඩක් වෙත යොමු නොකරන්නට ද, ඇතැම් ගුරුවරුන්ගේ භූමිකාව බලපා ඇති බවක් දක්නට ලැබේ.

ගුරුවරයා යනු සමාජ ශෝධකයෙකි. සමාජයෙහි නරක සෝදා හැරීම ඉතා හොඳින්ම කරන්නට හැකි තැනැත්තන් වන්නේ ද ගුරුවරුය. ජීවිතයේ ඉදිරියට ගමන් කරන දරුවන්ට, දිනෙක නැවත හැරී බලද්දී ආදරෙන් සිහිපත් කරන්නට හැකි ගුරුවරුන් ජීවිතය තුළ මුණගැසී තිබේ නම්, එබඳු දරුවන් කිසිසේත්ම අවාසනාවන්තයන් වන්නේ නැත.

ඉපැරැණි සාහිත්‍ය තුළ දිසාපාමොක් පරපුරෙහි ආචාර්‍යවරුන් පිළිබඳ ලියැවුණු කතා රැසක් අපි අසා, කියවා ඇත්තෙමු. එබඳු කතාවල තක්ෂිලාවෙහි සිල්ප උගත් ඇතැම් දරුවන් යහපත කරා මෙහෙයවූ දයාද්‍ර හදවත් ඇති ඇදුරුතුමන්ලා මෙන්ම, අංගුලිමාල වැන්නවුන්ගේ ජීවිත පාපය කරා මෙහෙයවූ ඇදුරුතුමන්ලා ද මුණගැසේ.

යාන්ත්‍රීකරණය වූ සමාජය තුළ නොමඟට ගමන් කරන්නට ලක්ෂ සංඛ්‍යාත මාර්ග මුණ ගැසෙන විට, දරුවන් සුමඟට රැගෙන යා හැකි හොඳම මඟ වන්නේ අධ්‍යාපනයයි. එහි මාර්ගෝපදේශකයා ගුරුවරයාය. ‘ගුරු‘ යන වදනට අරුත් දෙන පරිපූර්ණ ගුරු භවතුන්ට ඒ නොමඟට යන මාර්ග සියල්ල වසා දමන්නට තරම් හැකියාවක් තිබේ.

ජලය සහ පොහොර නොලැබ, කිසිදු සාත්තුවක් නොලබා අයාලේ වැඩුණු ගස් වැනි මිනිසුන් පිරි සමාජයක් බිහි කරනවා වෙනුවට, විවිධාකාර වූ හැකියා වැඩි දියුණු කර ගත් ලොවක් තනන්නට, ලොව සුරකින්නට හැකි මිනිසුන් සපිරි සමාජයක් බිහි කරන්නට දායක වන ගුරුවරයාගේ කාර්යභාරය, සුළුකොට තැකිය හැකි නොවේ.

ආදරණීය ගුරුභවතුනි, ඔවුන් ජීවිතය දකින්නේ ඔබේ ආදරය මතිනි. ඒ ආදරය සහ නිවැරැදි මාර්ගෝපදේශනය සමඟ ඔවුන් සුරක්ෂිත අනාගතයක් කරා රැගෙන යන්නට ඔබේ උපරිම කැපවීම, ජාත්‍යන්තර ගුරු දිනයේදී අපගේ අපේක්ෂාව බව කිව යුතුය.

 

සිප්හලේ දොරටුවෙන් ඇතුළු වූ මල් කැකුළු

පෙති සිඳෙන්නට නොදී හෙමි හෙමින් පුබුදන්න

සෙවණ රැකවරණ දෙන මහ තුරක් විලාසෙන්

දරුවන්ගෙ හිස් මතින් අතුපතර විහිදන්න

 

රළු පරළු ලෝකයෙහි සුමුදු තැන් සොය සොයා

වැඩෙන සුහුඹුල් පැටවු සෙනෙහසින් නහවන්න

දිරිය ශක්තිය පතමු සෑම ගුරු සිතකටම

මිනිස්කම රජ කරන ලොවක් ඉදිකරවන්න

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලෝක ගුරු දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.

ලොව ශ්‍රේෂ්ඨම වෘත්තීන් අතර ගුරු වෘත්තිය මුල් තැන ගන්නා බවත් ලෝකයේ හා මනුෂ්‍ය වර්ගයාගේ රඳා පැවැත්ම සඳහා වූ මග නොමග පසක් කරන මාර්ගෝපදේශකයා ගුරුවරයා වන බවත් එහි දැක්වෙනවා.

ගුරුවරයා සහ ගුරු වෘත්තිය වෙනුවෙන් වූ වගකීම් නොපිරිහෙලා ඉටු කිරීමට රජයක් ලෙස බැඳී සිටින බව ද ජනාධිපතිවරයාගේ සුබ පැතුම් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන්.

මේ අතර, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනද ගුරු දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, රාජකාරියෙන් ඔබ්බට ගොස් තම යුතුකම ඉටු කරන අධ්‍යාපන පුනර්ජීවනයේ හදවත බඳු ගුරුවරුන්ට ජාතියේ ප්‍රණාමය පුද කරන බව යි.

 

Scroll to Top