Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

කැළි කසළ එකතු කරන්නන්ගෙන් සාර්ථක කාබනික වගාවක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

පොලොන්නරුව සහ කඳුරුවෙල නගරවල ව්‍යාපාර සහ නිවාසවලින් බැහැර කරන කැළිකසළ එකතු කර ඉන් කාබනික පොහොර හා දියර පොහොර නිෂ්පාදනය කරමින් කිසිදු වස, විසක් නොයොදා පොලොන්නරුව මහ නගර සභාවේ කම්කරුවන් සහ එහි සේවකයින් පිරිසක් කුසුම්ගම ප්‍රදේශයේ සාර්ථක උඩරට එළවළු වගාවක් සිදු කර තිබේ.

වන අලි ගැවසෙන භූමියකට ආසන්නව සිදු කර ඇති මෙම උඩරට එළවළු අතර ගෝවා, බීට්, නෝකෝල්, අතු ගෝවා, බණ්ඩක්කා, පිපිඤ්ඤා, මෙන්ම තිත්බටු, මඤ්ඤාක්කා, ඇතුළු උඩරට පහතරට එළවළු රැසක් වගා කර තිබීම විශේෂත්වයකි. පොලොන්නරුව නගරාධිපති චානක සිදත් රණසිංහ මහතාගේ උපදෙස් පරිදි මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවන අතර කැළි කසළි එකතු කරන කම්කරුවන් හත්දෙනකු පමණ එකතු වී සාර්ථකව වගාකර ඇති මෙම උඩරට එළවළු මහනගර සභාවේ සේවය කරන සේවකයන්ට ඉතා අඩු මිලට ලබා දීමට කටයුතු කරන අතර ඉන් ලබන ආදායම්ද මෙම භූමියේ සංවර්ධනයට ඔහුන් විසින් යොදා ගනිති.

මීට පෙර තමන්කඩුව ප්‍රාදේශීය සභාවෙන් මෙම ස්ථානයට කැළි කසළ යොදා එම කැළිකසළ වන අලි විසින් ආහාරයට ගෙන ඔවුන් විවිධ ලෙඩරෝගවලට භාජනයවී, මියගිය අවස්ථා ද අපිට වාර්තා වී ඇත. එම තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් කරමින් පොලොන්නරුව මහ නගර සභාව මෙන්ම එහි කැළි කසළ එකතු කරන කම්කරුවන් සිදු කරන මෙම සාර්ථක ව්‍යාපෘතිය අන් ප්‍රදේශීය සභාවලට මෙන්ම නගර සභාවලට පූර්වාදර්ශයකි. පොලොන්නරුව මහනගර සභාවේ කැළි කසළ එකතු කරන කම්කරුවන් තමන්ගේ රාජකාරි කාලයට අමතරව මෙම ව්‍යාපෘතිය සඳහා කාලය වැය කරන අතර කඳුරුවෙල මෙන්ම පොලොන්නරුව නගරයෙන් එකතු කරන අපද්‍රව්‍යවල තිබෙන ප්ලාස්ටික්, පොලිතින්, ඉවත්කර දිරාපත් වන සියලු ද්‍රව්‍යවලින් දියර පොහොර, මෙන්ම කාබනික පොහොර, නිෂ්පාදනය කර ඒවා මෙම උඩරට එළවළු වගාවට යොදා ගනිති.

ඒ අනුව ඔවුන් විසින් වගා කරන උඩරට එළවළු වගාවේ පළමු අස්වැන්න පොලොන්නරුව නගරාධිපති චානක සිදත් රණසිංහ මහතාගේ සහභාගිත්වයෙන් ඊයේ 28 වැනිදා පෙරවරුවේ සිදු කළ අතර, අස්වැන්න නෙළන අවස්ථාවට එක් වූ කම්කරුවන් පැවසුවේ මේ දිනවල වෙළඳපොලේ පවතින එළවළු මිලට වඩා 50% කින් අවට ගම්මානවල ජනතාවගේ පරිභෝජනයට මහනගර සභාවේ සේවකයන්ගේ පරිභෝජනටත් මෙම වස, විසෙන් තොර උඩරට එළවළු ලබා දීමට කටයුතු කරන බවයි.

සිරිපුර – මදුශානි අබේසිංහ

Scroll to Top