ආසියානු කලාපයේ ක්‍රිකට් රජුන් ලෙස කිරුළු පැළඳීම පිණිස ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව හා පකිස්ථානය අද (11) රාත්‍රී 7.30 ට විදුලි ආලෝක මධ්‍යයේ තරග වැදීමට නියමිතය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙතෙක් වැඩිම පන්දු වාර 20-20 තරග සංඛ්‍යාවක් ජයග්‍රහණය කර ඇති නායකයා වන දසුන් ශානක සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දෙන අතර මේ වනවිට ලොව හොඳම දෙවෙනි පන්දු වාර 20-20 පිතිකරු ලෙස ශ්‍රේණිගතව සිටින බාබර් අසාම් පකිස්තාන කණ්ඩායමේ නායකයා වේ.
මීට පෙර අවස්ථා 11කදී ශ්‍රී ලංකාව කණ්ඩායම ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගෙන ඇති අතර ඉන් ජය ගෙන ඇති තරග සංඛ්‍යාව 5 කි.
පකිස්ථානය අවස්ථා 4 කදී අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගෙන ඇති අතර ඉන් අවස්ථා දෙකකදී අසියානු කුසලානය තමන් සතුකර ගැනීමට ඔවුන් සමත්ව තිබේ.
වැඩිම ආසියානු කුසලාන ක්‍රිකට් ශූරතා සංඛ්‍යාවකට හිමිකම් කියන ඉන්දියාව පැවැති තරගාවලි 15න් 7 වතාවක් ශූරතාව දිනා තිබේ.
ශ්‍රී ලංකාව සහ පකිස්තානය මේ තරගාවලිය යටතේ තෙවතාවක් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ඇති අතර ඉන් 2014 අවස්ථාවට අමතරව 1986 දීද ශ්‍රී ලංකාව ශූරතාව හිමි කර ගෙන තිබේ. 2000 වසරේ දෙරට අතර පැවැති අවසන් තරගයෙන් පකිස්තානය ජය ගෙන ශූරයෝ බවට පත් වූහ.
දසුන් ශානක විසින් ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරූ මුල්ම අවස්ථාව ලෙසින් 2019 වසරේ පකිස්තානයේ කළ තරග සංචාරයේදී 3-0 කින් ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලි ජය වාර්තා කළ අතර එය පාකිස්තානයට එරෙහිව ශ්‍රී ලංකාව ලද පළමු විස්සයි විස්ස තරගාවලි ජය වශයෙන්ද සටහන් වූයේය.
ශ්‍රී ලංකා සංචිතය – දසුන් ශානක (නායක), ධනුෂ්ක ගුණතිලක, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, අෂේන් බණ්ඩාර, ධනංජය ද සිල්වා, වනිඳු හරසංග, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩසේ, ප්‍රවීන් ජයවික්‍රම, චාමික කරුණාරත්න, දිල්ෂාන් මධුෂංක, මතීෂ පතිරණ, අසිත ප්‍රනාන්දු සහ ප්‍රමෝද් මධුෂාන්
පාකිස්තාන සංචිතය – බාබර් අසාම් (නායක), මොහොමඩ් රිස්වාන්, ෆකාර් සමාන්, ඉෆ්තිකර් අහමඩ්, කුෂ්දිල් ෂා, අසීෆ් අලී, ශදාබ් ඛාන්, මොහොමඩ් නවාස්, නසීම් ෂා, හාරිස් රවුෆ්, මොහොමඩ් හස්නයින්, උස්මාන් කාදර්, හයිඩර් අලී, හසන් අලී සහ ශානවාස් දහානි
ශ්‍රී ලංකාව මෙවර අවසන් මහා තරගයට එක් වන්නේ සුපිරි සිව්දෙනාගේ වටයේ අපරාජිත කණ්ඩායම ලෙසය.