සම්බුදු සසුන තුළ භික්ෂුණී සමාජය ආරම්භවීම සිදු වූයේ බිනර පුර පසළොස්වක පොහොය දිනෙක ය. එදින මහා ප්‍රජාපතී ගෝතමී දේවියගේ පැවිදිවීම සිදු වූ අතර, එයම භික්ෂුණී සමාජයේ ආරම්භය විය.
එසමයෙහි බුදුරදුන් වැඩ සිටියේ කිඹුල්වත්පුර නුවර නිග්‍රෝධාරාමයේ ය. එහි දී මහා ප්‍රජාපතී ගෝතමී දේවිය උන්වහන්සේ කරා එළඹ වැඳ, එකත්පසෙක සිට ආයාචනයක් සිදුකළා ය. එනම් කාන්තාවන්ට බුදුසසුන තුළ පැවිද්ද හා උපසම්පදාව ලබා දෙන ලෙසයි.
තෙවරක් ම එලෙස ආයාචනා කළ පසු බුදුරදුන් වදාළේ “ගෞතමියනි, තථාගතයන් දැන හෙළි පෙහෙළි කළ සස්නෙහි ගිහි ගෙයින් නික්ම මාගමක්හු පැවිදි වනු ඔබට රිසි නොවේවා” යන්න යි.
බුදුරදුන් ඊළඟ වස් සමය වැඩ සිටියේ විශාලා මහනුවර මහ වනයෙහි කූටාගාර ශාලා විහාරයෙහි ය. එහි දී ද මහා ප්‍රජාපතී ගෝතමී දේවිය කලින් රෝහිණී නදී තීරයේ දී බුදුරදුන් සමීපයේ පැවිදි වූ ශාක්‍ය කෝලිය දෙරට කුමාරවරුන් පන්සියයක ගේ භාර්යාවන් ද කැටුව කෙස් වැටි කපා හැර, කහ වස්ත්‍ර පොරවා මැටි පාත්‍ර ගෙන ඉතාම දුක සේ සැතපුම් ගණනාවක් පයින්ම විශාලා මහනුවර කරා පැමිණියහ. මෙසේ දෙවැනි වරට පැවිදි වෙස්ගෙන, මනා සංවිධානයක් ද ගොඩනඟාගෙන බුදුරදුන් වෙත පැමිණියේ ඔවුන් ගේ අරමුණ තවත් කල් නොගෙන ඉටුකරවා ගැනීමේ පරමාර්ථයෙන් බව පැහැදිලි ය.
ඉක්බිතිව මහා ප්‍රජාපතී ගෝතමී දේවිය ආනන්ද හිමියන්ට කරුණු පවසා උන්වහන්සේ ගේ මාර්ගයෙන් කාන්තාවන්ට බුදුසසුන තුළ පැවිද්ද ලබා දෙන ලෙස ඉල්ලා සිටියා ය. එහි දී ද බුදුරදුන් එම ඉල්ලීම තෙවරක් ම ප්‍රතික්ෂේප කළේ
“ආනන්දයෙනි, කාන්තාවන් ගිහි ගෙයින් නික්ම තථාගත ශාසනයෙහි පැවිදිවීම නුඹට රිසි නොවේවා” යි වදාරමිනි.
එහෙත් ආනන්ද හිමියන්ගේ බලවත් උනන්දුව මත මහා ප්‍රජාපතී ගෝතමී දේවිය ප්රමුඛ කාන්තා පිරිසට බුදුසසුනේ පැවිදිවීමට භාග්‍යය උදා වුණි. එහිදී බුදුරදුන් වදාළේ
“අනඳයෙනි, මහා ප්‍රජාපතී ගෝතමිය ගරු දහම් අටක් පිළිගන්නී නම් එයම ඇයගේ උපසම්පත්තිය වේවා” යන්න ය. මෙහිදී බුදුරදුන් වදාළ අෂ්ට ගරු ධර්ම මෙසේ ය.
වස්සසතූ සම්පන්නාය භික්ඛුනියා තදහුපසම්පන්නස්ස භික්ඛුනො අභිවාදනං පච්චුට්ඨානං අඤ්ජලිකම්මං සාමීචිකම්මං කාතබ්බං අයම්පි ධම්මො සක්කත්වා ගරුකත්වා මානෙත්වා පූජෙත්වා යාවජීවං අනතික්කමනියො
උපසපන් ව සියක් වස් වූ මෙහෙණියක විසින් වුව ද එදින උපසපන් වූ භික්ෂුවකට වැඳීම, දැක හුනස්නෙන් නැඟී සිටීම, දොහොත් මුදුන් තබා නැමදීම, සාමීචි කර්මය නිසි ලෙස කළ යුතු ය. මෙම ධර්මය සකසා ගුරුකොට, බුහුමන් කොට පුදා දිවිහිමියෙන් කළ යුතු ය.
භික්ඛුනියා අභීක්ඛුකෙ ආවාසෙ වස්සං වසිතබ්බං අයම්පි ධම්මො……
භික්ෂුණිය, භික්ෂූන් වහන්සේ නොමැති ගමක වූ ආවාසයක වස් නො විසිය යුතු ය.
අන්වද්ධමාසං භික්ඛුනියා භික්ඛු සංඝතො ද්වෙ ධම්මා පච්චාසිංසිතබ්බා, උපොසටිපුච්ඡකඤ්ච ඕවාදූපසංකමනඤ්ච,
අඩ මසක් පාසා භික්ෂුණිය විසින් භික්ෂු සංඝයා කෙරෙන් පොහොය විචාරීම ද, අවවාද ලබනු වස් භික්ෂුවක ගේ එළඹීම ද යන දෙදහම් අපේක්ෂා කළ යුතු ය.
වස්සං වුත්ථාය භික්ඛුනියා උභතො සංඝෙ තීහි ඨානෙහි
පවාරෙතබ්බං, දිට්ඨෙන වා සුතෙන වා පරිසංකාය වා.
වස් විසූ භික්ෂුණිය විසින් භික්ෂු, භික්ෂුණී යන දෙසඟ පිරිස්හි ම දුටු දෙයින්, ඇසූ දෙයින් සැක කළ දෙයින් යන තුන් දෙයින් පවාරණය කළ යුතු ය.
ගරුධම්මං අජ්ඣාපන්නාය භික්ඛුනියා උභතො සංඝෙ පක්ඛමානත්තං චරිතබ්බං
බර ඇවතකට පත් භික්ෂුණිය භික්ෂු භික්ෂුණී උභතෝ සංඝයා කෙරෙහි මානත පිරිය යුතු ය.
ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛිතසික්ඛාය සික්ඛමානාය උභතො සංඝෙ උපසම්පදා පරියෙසිතබ්බා
දෙ අවුරුද්දක් ධර්ම සයක්හි හික්මුණු සිල් ඇති හික්මෙන්නියක සිට උභතෝ සංඝයා වෙතින් උපසම්පදාව අපේක්ෂා කළ යුතු ය.
න භික්ඛුනියා කෙනචි පරියායෙන භික්ඛු අක්කොසිතබ්බො පරිභාසිතබ්බො…..
භික්ෂුණිය විසින් කවර කරුණක් නිසා හෝ භීක්ෂුවකට ආක්‍රෝශ පරිභව නො කළ යුතු ය.
අජ්ජතග්ගෙ ඔවටො භික්ඛුනීනං භික්ඛූසු වචනපථො අනොවටො භික්ඛූනං භීක්ඛුනීසු වචනපෙථො…….
අද සිට ඉදිරියට භික්ෂුණිය භික්ෂුවහට “මෙසේ යව, මේ දේ කරව“ යනාදී ලෙස අණ දෙන ස්වරූපයෙන් කතා මඟ හවුරන ලද්දේ ය. භික්ෂුණිය කෙරෙහි භික්ෂූන්ගේ කතා මඟ නො හැවුරුණේ ය.
මෙම ගරු ධර්ම අට ආනන්ද හිමියන්ට විස්තර කර දුන් බුදුරජාණන් වහන්සේ “අනඳයෙනි, මහා ප්‍රජාපතී ගෝතමී මේ ගරු දහම් අට පිළිගනී නම්, එය ම ඇයගේ උපසපුව වන්නේ යැ”යි වදාළහ. ආනන්ද හිමියෝ මහා ප්‍රජාපතී ගෝතමී දේවිය වෙත පැමිණ මෙය විස්තර කර දුන්හ.
එවිට එතුමිය මෙසේ ප්‍රකාශ කළා ය. “ආනන්දයන් වහන්ස, කය සරසන සුලු තරුණ යොවුන් වියෙහි සිටි ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ හිස සෝදා නා උපුල් මල් දමක් හෝ සමන් මල් දමක් හෝ යොහොඹු මල් දමක් හෝ ලැබූ දෑතින් පිළිගෙන උත්තමාංග වූ හිසෙහි පිහිටුවන්නේ ද ආනන්දයන් වහන්ස, එසේම මම මේ දිවි හිමියෙන් සුරැකිය යුතු ගරු දහම් අට පිළිගනිමි
“ ඉක්බිති ආනන්ද තෙරණුවෝ බුදුරජාණන් වහන්සේ වෙත එළඹ “භාග්‍යවතුන් වහන්ස, මහා ප්‍රජාපතී, ගෝතමීන් විසින් ගරු දහම් අට පිළිගැනිණ. භාග්‍යවතුන් වහන්සේගේ සුළු මෑණියන් දෑ උපසපුව ලැබූහ”යි කීහ.
එවිට බුදුරදුන් වදාළේ ‘අනඳයෙනි, කාන්තාවන් ගිහි ගෙයින් නික්ම තථාගත ශාසනයෙහි පැවිද්ද නොලද නම් මේ සසුන් බඹසර චිරස්තිථික වන්නේ ය. මේ ශාසන සද්ධර්මය අවුරුදු දහසක් පිහිටියේ ය. යම් හෙයකින් කාන්තාවෝ ගිහි ගෙයින් නික්ම තථාගත ශාසනයෙහි පැවිදි වූවහු ද එබැවින් දැන් මේ සසුන චිරස්ථිතික නොවන්නේ ය. දැන් මෙතැන් සිට පන්සිය වසරක් ශාසන සද්ධර්මය පිහිටියේ ය යන්න යි.
බුදු සසුනෙහි කාන්තාවන් පැවිදිවීම සසුන චිරස්ථිතික වීමට හේතු නොවන බව බුදුරදුන් ඉතා සරල උපමා කිහිපයක් මඟින් පැහැදිලි කර තිබේ. ඒ අතර සම්පූර්ණ වූ හැල් කෙතක වී බොල් වන රෝග විශේෂයක් හට ගැනීමකට සහ උක්වත්තක ගස් තුළ කඳ රත්පැහැ ගන්වන රෝග විශේෂයක් හට ගැනීමකට ද එය උපමා කොට ඇත.
අෂ්ට ගරු ධර්ම පැනවීම පිළිබඳ බුදුරදුන්ගේ උපමාව වූයේ මහ වැවක ජලය එයින් නික්ම පිටත ගැලීම වළක්වනු පිණිස කල්තබා ම නියරක් බඳනේ ද එසේම දිවි හිමියෙන් කඩ නොකළ යුතු ගරු ධර්ම අටක් කල්තබා ම භික්ෂුණීන්ට පනවන ලද බවයි.
භික්ෂුණී සමාජය ආරම්භ කරමින් බිනර පුර පසළොස්වක පොහොය දිනෙක මහා ප්‍රජාපතී ගෝතමි දේවිය පැවිදි උපසම්පදාව ලැබුවේ මේ ආකාරයෙනි. පසුව අනෙක් කාන්තා පිරිස ද එතුමිය අනුව යමින් පැවිදි උපසම්පදාව ලැබුහ.
ඌරුගමුවේ අස්සජී හිමි
budusarana