‘එක්ව ගොඩනඟමු’ යන තේමාව යටතේ එක්සත් ජාතික පක්ෂයේ 76 වන සංවත්සරය අද (06) සවස 3.00 ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
පාර්ලිමේන්තුව නියෝජනය කරන, නොකරන සියලු පක්ෂවලට හා සිවිල් සංවිධානවලට ආරාධනා කර ඇතැයි එජාප මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
සෘණ 07 ක ආර්ථික පසුබෑමකට ලක්ව තිබෙන රට ආර්ථික වර්ධනයක් ඇති කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙනයන උත්සාහයට සියලු කණ්ඩායම්වල සහාය ලබාදිය යුතු බව ද ඒ මහතා කීය.
වර්ෂ 1993දී එක්සත් ජාතික පක්ෂයට එක් වූ අනුර බණ්ඩාරනායක මහතා 1994 මහා මැතිවරණයේදී එ.ජා.ප. රැස්වීම්වලදී සිදු කළ විශේෂ ප්‍රකාශයක් විය. එය මෙසේය. “මාගේ පියාණන් වූ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා ආරම්භ කළ යම් දේශපාලන ක්‍රියාදාමයක් අද ඉතිරිව තිබේ නම් එය එක්සත් ජාතික පක්ෂය පමණි. අද මා සිටින්නේ එතැනයි.”
අනුර එසේ කීවේ එක්සත් ජාතික පක්ෂය බිහි කළ අතීත පුරෝගාමීන්ගේ දෙවැනි පරපුර නියෝජනය කරමිනි. මේ වන විට එක්සත් ජාතික පක්ෂය බිහි කළ අතීත පුරෝගාමීන් සියලු දෙනාම මෙලොවින් සමුගෙන ඇත. අද එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය දරන්නේ දෙවැනි පරපුර නියෝජනය කරන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාය. එතුමන් පක්ෂයේ වර්තමානය සහ අනාගතය තෙවැනි පරපුරට භාර දීමට සිය දර්ශනය ක්‍රියාත්මක කරමින් සිටී. එක්සත් ජාතික පක්ෂය ආරම්භ කිරීමට එදා පැවැති පක්ෂ හා සමාන සියලු දේශපාලන හා ජාතික සංවිධාන එකට එකතු වූයේ සියලු වාද භේද පසෙකලාය.
ඒ සඳහා දේශපාලනයේ නොයෙදෙන එකල මෙරට තිබූ ප්‍රබල බෞද්ධ සංවිධාන වූ පරම විඥානාර්ථ බෞද්ධ සංගමය, කොළඹ තරුණ බෞද්ධ සංගමය, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ නායකත්වයේ සිටි පිරිස් ද එක්සත් ජාතික පක්ෂය පිහිටුවීමට එකතු වීම විශේෂ සිද්ධියකි. එසේ එක් වූ නායකයන්ගේ ඒකායන පරමාර්ථය වූයේ සිව්සිය වසක් අධිරාජ්‍යවාදීන්ගේ ග්‍රහණයට හසුව පරාධීනව සිටි අපේ මව්බිම එම වහල් බැමිවලින් මුදාගෙන නිදහස් නිවහල් රාජ්‍යයක් බවට පත් කර ගැනීමටය. පසුගිය සියවසේ සිටි ජාතික නායකයන්ගේ පෙරටුගාමීත්වයෙන් බිහි වූ එක්සත් ජාතික පක්ෂයට වසර 76ක් සපිරීම අද රටටත් ජාතියටත් ආඩම්බරයට කරුණකි.
1931 වසරේදී මෙරට ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මන්ත්‍රිවරයකු වශයෙන් නිතරගයෙන් මැති සබයට පිවිසි ඩී.ඇස්. සේනානායක මහතා ආරම්භ කළ නව ගොවි ජනපද ව්‍යාපාරය වතු වැවිලි වගා නිසා කුඩම්මාගේ සැලකිල්ලට ලක්ව සිටි ගොවි ජනතාවට නව ජීව වායුවක් පිඹීමක් වැනි විය. එතුළින් මින්නේරිය, කාගම, බකමූණ, කටියාව වැනි නව ගොවි ජනපද බිහි වූ අතර, 1935 සිට 1985 දක්වා ගෙවී ගිය වසර පනහ තුළ මෙරට වී ගොවිතැනට පාත්‍ර වූ ඉඩම් අක්කර ගණන පහළොස් ලක්ෂයකට ආසන්න විය. ඒ තුළින් ලක්ෂ හතළිහකට ආසන්න ජනතාවකට ලැබුණු සෙත සුළු පටු නොවීය. දෙවනුව ඇරඹි ගල්ඔය සංවර්ධන ව්‍යාපාරය ද, තෙවනුව ඇරඹූ මහවැලි සංවර්ධන ව්‍යාපාරය ද මෙරට ගොවි ජනතාවට ලැබුණු මහා අස්වැසිල්ලකි.
1946 සැප්තැම්බර් 06 වැනි දින කොළඹ ෆාම් කෝට් මන්දිරයට එක් වූ ලංකා ජාතික සංගමයේ නායකයන් ප්රමුඛ සිංහල මහ සභාව, ශ්‍රී ලංකා යෝනක සංගමය, මැලේ ජාතික සංගමය, බර්ගර් පෙරමුණ, ද්‍රවිඩ සංගමය, මුස්ලිම් පෙරමුණ, යුරෝපීය සංගමය, හෙළ හවුලේ ඇතැම් කොටස් එක් වී එක්සත් ජාතික පක්ෂය පිහිටුවා ගත්තේ ජාතික අරමුණු රාශියක් ඉදිරියේ තබා ගනිමිනි.
එහි ප්‍රථම අරමුණ ලංකාවට ජාතික නිදහස ලබා ගැනීමය. මෙහිදී පක්ෂයේ නායකයා ලෙස ඩී.ඇස්. සේනානායක මහතා ද, ලේකම් පදවියට එච්.ඩබ්ලිව්. අමරසූරිය මහතා ද, සම භාණ්ඩාගාරිකවරු වශයෙන් මුස්ලිම් සිටුවරයකු හා සමාන ශ්‍රීමත් රාසික් ෆරීඩ්, ජේ.ආර්. ජයවර්ධන යන මහත්වරු ද තේරී පත් වූහ. පක්ෂයේ වර්ණය ලෙස හරිත වර්ණයත්, සලකුණ වශයෙන් ගොඩබිම වෙසෙන විශාලතම සත්ත්වයා වූ අලියාත් තෝරා ගත්තේ ඩී.ඇස්. සේනානායක මහතාගේ රුචිකත්වය අනුවය. 1947දී පක්ෂය බලයට ගෙන ඒම සඳහා විශාල මෙහෙවරක් කළ ස්වාමින් වහන්සේ නමක් වූයේ අතිපූජ්‍ය රාජකීය පණ්ඩිත හේන්පිටගෙදර ඥානසීහ මාහිමිපාණන් වහන්සේය.
එක්සත් ජාතික පක්ෂයේ සිටි සියලු සිංහල නායකයෝ ප්‍රතිපත්තිගරුක බොදුනුවෝය. සියලු ජාතිකයන්ට හා ආගමික නායකයන්ට වාද භේදවලින් තොරව සෙවණ සලසන මහා වෘක්ෂයක් බඳු වූ එක්සත් ජාතික පක්ෂය ජාත්‍යන්තරව පිළිගනිමින් නව ලොවක අසිරිය දකින ජාතිකත්වය අගයන පක්ෂයක් බව පක්ෂයේම සිටි ඇතමුන්ට කලකට පසු වටහා ගැනීමට නොහැකි වීම රටේම අභාග්‍යයක් විය. එක්සත් ජාතික පක්ෂය මෙරට බිහි වූ වාමාංශික පක්ෂ හැරුණු විට අනෙක් සියලුම පක්ෂවල තිඹිරිගෙය විය. එක්සත් ජාතික පක්ෂය බිහි වී වසරක් ගත වීමටත් පෙර සෝල්බරි ආණ්ඩු ක්‍රමය යටතේ පළමු මැතිවරණය 1947 වර්ෂය තුළ පැවැත්වීමට නියමිත විය.
මේ අනුව පක්ෂයේ ආරම්භක නායකයන් වූ ඩී.ඇස්. සේනානායක, ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක, ශ්‍රීමත් ජෝන් කොතලාවල, එච්.ඩබ්ලිව්. අමරසූරිය, ශ්‍රීමත් රසීක් ෆාරීඩ්, ටී.බී. ජයා, ඩඩ්ලි සේනානායක, ඩී.ඒ. රාජපක්ෂ, ඒ. රත්නායක, ඊ.ඒ. නුගවෙල, ඇම්.ඩී. බණ්ඩා, ජේආර්. ජයවර්ධන, ආර්.ජී. සේනානායක ආදීහු ලංකාවේ විවිධ පළාත් නියෝජනය කරමින් ආසනවලට තරග වැදුණහ. එච්.ඩබ්ලිව්. අමරසූරිය මහතාත්, ආචාර්ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මහතාත් හැර අන් අය මැති සබයට තේරී පත් වූහ. මන්ත්‍රී තරගයෙන් ජය ලැබූ ඔවුන් නව රජයේ මන්ත්‍රීවරුන් හා ඇමැතිවරුන් ලෙස දිවුරුම් දී නව තනතුරුවලින් සිය මෙහෙවර දේශය වෙනුවෙන් මුදා හරින්නට වූයේ විශාල කැපවීමකින්ය. රජය පිහිටුවා මාස පහක් ගත වන විට ඉංග්‍රීසි ආණ්ඩුව මඟින් ලංකාවට නිදහස දීමට එකඟ වීම නිසා 1948 පෙබරවාරි 04 වැනිදා ලංකාව නිදහස් නිවහල් ස්වෛරී රජයක් ලෙස මුළු මහත් රටම පාලනය කිරීමට පියවර ගන්නේ විශාල වගකීමක් ඉටු කිරීමටය.
අද පවතිනුයේ රටට ආර්ථික නිදහස දිනා ගැනීමේ සටනයි. ඒ සඳහා එක්සත් ජාතික පක්ෂය අද නායකත්වය ගෙන ඇත. ප්‍රධාන හවුල්කරුවා වූ පොදුජන එක්සත් පෙරමුණ ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් නායකයන් ද, සමඟි ජන බලවේගයේ පිරිස් ද, සිංහල, දෙමළ, මුස්ලිම් පක්ෂවල නායකයන් ද රජය සමඟ පෙළට සිටගෙන සිටින්නේ නව ගමනක ආරම්භයකටය. එයට අනෙකුත් පක්ෂවල එකතු වීම ද වැදගත් වනු ඇත. එය ජාතිය වෙනුවෙන් සිදු කරන අතිවිශාල මෙහෙවරකි. මේ රටේ සැබෑ ඉතිහාසය පිළිබඳව කිසිම කියැවීමක් නොමැති හිස් පුද්ගලයන් මේ රටේ වසර 74ක කාලයක් තුළ සිදු වූ විනාශයන් ගැන නන් දොඩවනු පෙනේ. එය වර්තමානයේ පවතින තත්ත්වය වසන් කිරීමකි.
අද අප පක්ෂයේ 76 වැනි සංවත්සරය පවත්වනුයේ රටත්, ජාතියත් විශාල ආර්ථික අර්බුදයකට වැටී තිබෙන අවස්ථාවකය. එයින් රටත් ජාතියත් ගලවා ගැනීම යුගයේ අවශ්‍යතාවයයි. එය අප හොඳින් වටහාගෙන සිටිමු. මේ දැවෙන අර්බුදයෙන් ගොඩ ඒමට වෙර දරන මෙම යුගයේ අප සියලු භේදවලින් තොරව යළි එක් වෙමු, රොක් වෙමු, ගොඩනඟමු, අලුත් නැවුම් ශ්‍රී ලංකාවක්.
රාත්‍රියක අඳුරුම මොහොත වනුයේ රාත්‍රී 11ත් 12ත් අතර කාලයයි. එම කාලය ගෙවීමත් සමඟ ක්‍රමයෙන් උදාවනුයේ අලුයම සහ උදෑසනයි. එයින් පසු පූර්ණ සූර්යාලෝකයෙන් ලොවම බබළනු ඇත. අද අප රටක් වශයෙන් ගෙවන්නේ අඳුරුම මොහොතයි. මෙය ඉවසීමෙන් හා වගකීමෙන් ද සැලසුම් සහගතව අර්ථාන්විතව ද ගෙවා දැමුවහොත් උදා වනුයේ රටක් පුබුදුවන අලුයම සහ උදෑසනය. ඒ සඳහා ඔබ අප එක් වෙමු. එය ඉටු කිරීමට එක්සත් ජාතික පක්ෂය නමැති සූර්යාලෝකයට හැකියාව ඇත. ජයතු… ජයතු… ජය ශ්‍රී ලංකා.
එක්සත් ජාතික පක්ෂ
සභාපති,
පාර්ලිමේන්තු මන්ත්‍රී
වජිර අබේවර්ධන