Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

වී තොග දිරාපත් වෙයි – වගකිව යුත්තන් නිහඩයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

වී අලෙවි මණ්ඩලයට අයත් පොලොන්නරුව අරලගංවිල වී ගබඩාවක 2015 යල කන්නයේ ගොවීන්ගෙන් මිලට ගත් වී විශාල තොගයක් දිරාපත් වෙමින් පවතී. රුපියල් ලක්ෂ 100ක වියදමින් ඉදි කරන ලද අරලගංවිල වී අලෙවි මණ්ඩලයේ ගබඩා දෙකෙන් එකකට වී අලෙවි මණ්ඩලයෙන් වී ගෙන ඇත්තේ එක් වතාවක් පමණක් බව ප්‍රදේශයේ ගොවීන් හා ගොවි සංවිධාන නියෝජිතයෝ පවසති. මීට වසර තුනකට ඉහතදී ඉදි කරන ලද අනෙක් ගබඩාව මෙතෙක් විවෘත කර නැති අතර ඊට මෙතෙක් වී මිල දී ගැනීමක් සිදුව නැති බවට ද ගොවීහු චෝදනා කරති.

එම ගබඩා සංකීර්ණයේ වහලවල සීට් විනාශ වී කැඩී ඇති ස්ථානවලින් වර්ෂා කාලවලදී ඇතුළට වැටුණු ජලයට වී කිලෝ ලක්ෂ ගානක් කිසිදු ප්‍රයෝජනයක් ගත නොහැකිව, විනාශ වී ඇති බවත්, ඒවා 2015 යල කන්නයේ ගොවීන්ගෙන් මිලට ගත් වී තොග බව ද මහවැලි බී කලාපයේ ව්‍යාපාර කමිටුවේ හිටපු ලේකම් සරත් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

එක් ගබඩාවකට වන අලින් විසින් හානි කර ඇති අතර, සොරසතුරන් විසින් ගබඩාවේ තහඩු ගැලවීමට උත්සාහ දරා ඇති බවත්, මේ ජාතික සම්පත් රැකගෙන මෙවර යල කන්නයේ මහවැලි බී කලාපය විජයබාපුර කොට්ඨාසයේ ගොවීන්ගේ වී මිලට ගැනීමට එම ගබඩා සූදානම් කරන ලෙස ද අදාළ බලධාරීන්ගෙන් තමා ඉල්ලා සිටින බව සරත් රාජපක්ෂ මහතා වැඩිදුරටත් කීවේය.

මහජන මුදල් වැය කරමින් රජයෙන් ඉදි කරන ලද ලක්ෂ සීයක් වටිනා මේ ගබඩා සංකීර්ණ දෙක ප්‍රයෝජනයට නොගන්නේ නම් වෙනත් කර්මාන්තයක් හෝ ආරම්භ කරන ලෙසත්, මේ පිළිබඳ ජනාධිපතිවරයාගෙත්, අගමැතිවරයා මෙන්ම කෘෂිකර්ම අමාත්‍යවරයාගේත් කඩිනම් අවධානය යොමු කර එය ප්‍රයෝජනයට ගැනීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන ලෙස ද මහවැලි බී කලාපයේ ගොවි සංවිධාන නියෝජිතයෝ ඉල්ලා සිටියහ.

මේ විනාශ වී යන වී ගබඩා සංකීර්ණ දෙකත්, දිරාපත් වන වී තොග පිළිබඳ වී අලෙවි මණ්ඩලයේ පොළොන්නරු දිස්ත්‍රික් කළමනාකාර නිමල් ඒකනායක මහතාගෙන් දුරකතනයෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ එම ගබඩා සංකීර්ණ වී අලෙවි මණ්ඩලයේ අම්පාර කළමනාකාරවරයාගේ භාරයේ පවතින බවයි.

ඒ අනුව අප වී අලෙවි මණ්ඩලයේ අම්පාර දිස්ත්‍රික් කළමනාකාර ශාන්ත කුමාර මහතාගෙන් දුරකතනයෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ එලෙස විනාශ වන්නේ අබලි වී තොගයක් බවයි. වී බෑග්වලින් ඉවත් වූ ඒවා එම ගබඩාවේ තිබෙන බවත්, එම වී නිකුත් කිරීමේදී කමිටුවක් මඟින් දිය යුතු බව ද ශාන්ත කුමාර මහතා කීය. අලෙවි මණ්ඩල‍යේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සේවකයන් හිඟ නිසා අරලගංවිල වී ගබඩාවට වී මිල දී ගැනීම එක් කන්නයකදී අම්පාර සේවකයන් යොදා සිදු කරන බව ද ශාන්ත කුමාර මහතා කීවේය. වී අලෙවි මණ්ඩලයෙන් මුදල් ලැබුණු විගස පොළොන්නරුව කාර්යාලය මඟින් එම ගබඩාවට ගොවීන්ගේ වී අස්වනු මිල දී ගනු ඇතැයිද ශාන්ත කුමාර මහතා පැවසීය.

වී අලෙවි මණ්ඩලයට අයත් අරලගංවිල වී ගබඩාවක වසර ගණනාවක සිට විනාශ වන වී තොගය පිළිබඳ වහාම විමර්ශනයක් සිදු කරන්නැයි කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා වී අලෙවි මණ්ඩලයේ සභාපති නීල් ද අල්විස් මහතාට දැනුම් දී ඇත. වී කිලෝ හාරදහසකට අධික ප්‍රමාණයක් මෙසේ විනාශ වෙමින් තිබෙන බව තමාට දැනගන්නට ලැබුණු බවත් මේ සම්බන්ධයෙන් වසර 2015 සිටම වගකිවයුතු නිලධාරීන් පිළිබඳ සොයා බලා, මේ වන විටත් අදාළ අංශවල සේවය කරමින් සිටින නිලධාරීන්ට විරුද්ධව වහාම විනය ක්‍රියාමාර්ග ගන්නැයි සභාපතිවරයාට උපදෙස් දුන් බව අමරවීර මහතා කීවේය.

මේ වී තොගය සත්ත්ව ආහාර සඳහා හෝ යොදා ගැනීමට තිබූ බවත් වසර 2015 සිට මේ වන තෙක් එම වී තොග කිසිදු ප්‍රයෝජනයක් නොගැනීම පිළිබඳ වගකිවයුත්තන්ට දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් ඇමැතිවරයා දිනමිණට කීය.මේ සම්බන්ධයෙන් වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයා සඳහන් කරන්නේ වසර 2020දී, ඊට පෙර වසරවල ගොඩගැසී තිබෙන අබලි වී වහාම විකිණීමේ තීරණයක් වී අලෙවි මණ්ඩලය ගෙන තිබූ බවයි. එසේ තිබියදී වසර 2015දී ගොවීන්ගෙන් මිල දී ගත් වී මෙසේ ගබඩාවල දිරාපත් වීම සිදුව ඇත්තේ කෙසේදැයි තමන් වී අලෙවි මණ්ඩලයේ අම්පාර ප්‍රාදේශීය කළමනාකරුගෙන් වාර්තාවක් කැඳවූ බව සභාපතිවරයා කියයි. මේ අබලි වී තොග සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී නිලධාරීන් කිසියම් අතපසුවීමක් සිදු කර ඇති නම් ඒ සම්බන්ධයෙන් ඇමැතිවරයාගේ උපදෙස් පරිදි විනයානුකූල ක්‍රියාමාර්ග ගන්නා බවත් මේ අබලි වී තොග සත්ත්ව ආහාරවලට හැකි ඉක්මනින් ලබා දෙන බවත් සභාපතිවරයා කියයි.

මධුෂානි අබේසිංහ – සිරිපුර, බුද්ධිකා ඉඹුලාන

Scroll to Top