Aboutceylon Online

බස් ධාවනය අඩකින් අඩුවෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

අද(26) දිනයේ පෞද්ගලික බස් ධාවනය අඩකින් අඩු කිරීමට සිදුවන බව ලංකා ‍පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ දින කිහිපයක සිට ඩීසල් නිසි පරිදි නොලැබීම මීට ‍හේතුව බවයි.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පැවසුවේ තම බස් සේවා සාමාන්‍ය පරිදි සිදුවන බවයි.

පෞද්ගලික බස් රථ සඳහා ප්‍රමාණවත් පරිදි ඩීසල් නොලැබීමෙන් ඊයේ (25) බස් රථ හත්දහසක්වත් ධාවනය නොවූ බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසීය.

මෙරට පෞද්ගලික බස් රථ දහ අට දහසක් ඇතත් කොවිඩ් ව්‍යාප්තියෙන් පසු ධාවනයට එක්ව ඇත්තේ බස් රථ දහතුන් දහසක් පමණක් බව ද හෙතෙම කීවේය.

ඉන්ධන කෝටා ක්‍රමයට ලබාදෙන ඩීසල් ලීටර් හතළිහ එක දිනකට හෝ ප්‍රමාණවත් නැහැ. පසුගිය සති දෙකක කාලයේ දී ලංගම ඩිපෝ මගින් ඩීසල් ලබා දුන්නත් මේ වනවිට ඩිපෝවලට ද ඩීසල් ලැබෙන්නේ නැහැ. මේ හේතුවෙන් පෞද්ගලික බස් කර්මාන්තය යළි කඩාවැටීමට ලක් වෙලා.

එමෙන්ම ගතවූ සති කිහිපයේ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හා කොළඹ බැස්ටියන් මාවත ප්‍රධාන බස් නැවතුම්පළ මගින් අන්තර් පළාත් පෞද්ගලික බස් රථ සඳහා ඉන්ධන ලබාදුන්නත් ඉදිරි දින කිහිපය තුළ ඉන්ධන ලැබේද නොලැබේද වග ප්‍රශ්නයක් යැයි ද කී ගැමුණු විජේරත්න එසේ වී නම් අන්තර් පළාත් බස් ධාවනය ද අඩාළ වන බව කීවේය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සමස්ත බස් රථ පන්දහස් තුන්සියයකින් බස් රථ හාරදහස් නවසියයක්ම ධාවනයට එක්කර ඇත.

පෙරේදා (24) මෙරටට ළඟා වූ සුපර් ඩීසල් නෞකාවට මුදල් ගෙවීමත් සමග ඊයේ (25) සවස සිට ඉන්ධන ගොඩබෑමේ කටයුතු ආරම්භ කළ බව බලශක්ති ඇමැති කංචන විජේසේකර පවසයි.

Scroll to Top