Aboutceylon Online

අරගලකරුවන්ගේ ඉල්ලීම

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කොටුව ජනාධිපති මන්දිරයට ඇතුළු වූ අරගලකරුවන් එහි සිට අද (09) ප්‍රකාශයක් සිදුකරමින් සඳහන් කළේ ජනතා බලය සහතික කෙරෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ජනමත විචාරණයක් මගින් කඩිනමින් සම්මත කරගත යුතු බවය.

පිහිටුවන අන්තර්කාලීන පාලනය සඳහා අරගල කරුවන්ගේ පාර්ශවකරුවන් ද නෛතික බැඳීමක් සහිතව මැදිහත් වන බව ඔවුහු නිවේදනය කළහ.

ජනාධිපති මන්දිරයේ බලය අත්පත් කර ගැනීමෙන් පසු සිය ඉදිරි ක්‍රියාමාර්ග ජනාධිපති මන්දිරයේ දී පැහැදිලි කරමින් ඔවුන් මේ බව සඳහන් කළහ.

‘අරගලයේ හෙට දවස ක්‍රියාකාරී සැලැස්ම’ යනුවෙන් යෝජනාවලියක් ඉදිරිපත් කරමින් ඔවුන් ඒ බව පැවසීය.

“අංක එක.. ගෝඨාභය රාජපක්ෂ වහාම විධායක ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්විය යුතුය. අංක දෙක. රනිල් වික්‍රමසිංහ වහාම ඉල්ලා අස්විය යුතුය.”

“කැබිනට්, කැබිනට් නොවන සියලු අමාත්‍යවරු, අමාත්‍යාංශ ලේකම්වරු, අධ්‍යක්ෂවරු, උපදේශකවරු, සංස්ථා සභාපතිවරු, තානාපතිවරු ඉල්ලා අස්විය යුතුය.”

“අන්තර්කාලීන පාලනයක් බිහිවිය යුතුය. මහජන කවුන්සියලයක් බිහිකළ යුතුය. ජනතාවට කෙටිකාලීන ක්ෂණික සහන වැඩපිළිවෙලක් සකස් කළ යුතුය.”

“ක්ෂුද්‍ර මූල්‍ය, ගොවි ණය කපා හැරීම. ලීසිං හා සුළු ව්‍යාපාරික ණය කපා හැරීම හෝ ගෙවීම සඳහා සහන වැඩපිළිවෙලක් සකස් කිරීම.”

“අත්අඩංගුවේ පසුවෙන සියලු අරගලකරුවන් ඇතුළු සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම හා දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට යුක්තිය ඉටු කිරීම.”

“හොරාකන ලද මුදල් හා දේපළ නැවත රජයට පවරා ගැනීම සඳහා දඬුවම් කිරීම. ජනතා බලය සහතික කෙරෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ජනමත විචාරණයක් මගින් කඩිනමින් සම්මත කිරීම. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම.”

“අන්තර්කාලීන පාලනයේ මූලික අරමුණ ඉහත යෝජනා ක්‍රියාත්මක කිරීම වන අතර එලෙස ගොඩනැගෙන අන්තර්කාලීන පාලනය ව්‍යුහය මාස 12ක උපරිම කාලසීමාවකට යටත්ව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම මගින් අවසන් වියයුතුය.”

Scroll to Top