සහල් හෝ වී, සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා යොදා නොගැනීම සඳහා රජය ඉදිරිපත් කර තිබෙන අති විශේෂ ගැසට් පත්‍රය නිසා, සතුන්ට ආහාර සපයා ගැනීමේදී බරපතළ අර්බුදයක් මතුව ඇතැයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් අත්තනායක පැවසීය.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඉකුත් 24 වැනිදා නිකුත් කරන ලද අති විශේෂ ගැසට් නිවේදනයට අනුව සහල් හෝ වී, සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා කෙළින්ම භාවිත කිරීම හෝ අන්‍යාකාරයකින් සත්ත්ව ආහාර නිපදවීම සඳහා යෙදවුමක් ලෙස භාවිත කිරීම සඳහා හෝ විකිණීම, විකිණීම සඳහා ඉදිරිපත් කිරීම, තොග රැස්කර තැබීම, ගබඩා කිරීම, ප්‍රවාහනය කිරීම, බෙදා හැරීම හෝ මිලදී ගැනීම නොකළ යුතු බවට නිෂ්පාදකයන්ට,වෙළෙඳුන් සහ බෙදාහරින්නන්ට දැනුම්දී ඇත.
මේ වන විට කුකුළු කර්මාන්තය විශාල ලෙස බිඳ වැටී ඇති බවත්, ඉන්ධන නොමැති වීම නිසා සේවකයන්ට කුකුළු ගොවිපොළවලට පවා පැමිණීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයිද ඔහු පැවසීය.
සතුන්ට ආහාර නොමැතිවීම නිසා ඉදිරි කාලයේදී බිත්තර හිඟයක් ඇතිවනු ඇතැයිද, මේ වන විට දෛනික බිත්තර නිෂ්පාදනය ලක්ෂ 20 කින් පමණ අඩුවී ඇතැයිද ඔහු කීවේය.