ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පස් වැනි මෙන්ම අවසන් එක්දින තරගය අද (24) දිවා රාත්‍රි තරගයක් ලෙස කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.
මේ වනවිටත් තරගාවලිය 3ට 1ක් ලෙස ජයගෙන සිටින්නේ, ශ්‍රී ලංකා කණ්ඩායම යි.
වසර 30කට පසු සිය මව්බිමේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව එක්දින ක්‍රිකට් තරගාවලියක් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන සමත්ව ඇති අතර අවසන් වරට ශ්‍රි ලංකාවේදී ඔස්ට්‍රේලියානු කණ්ඩායම එක්දින තරගාවලියකින් පරාජයට පත් කිරිමට සමත්ව ඇත්තේ 1992 වසරේදීය.
දෙරට අතර ටෙස්ට් තරගාවලිය ලබන 29 වැනි දා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ දී ආරම්භ වනවා.
ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා මෙම තරඟාවලිය ආරම්භ වූයේ ශ්‍රී ලංකාව දැඩි ඩොලර් අර්බුදයක සිටින සමයකයි. මෙම තරඟාවලියේ ප්‍රවේශ පත්‍ර අලෙවියෙන් ශ්‍රී ලංකාවට ලැබුණු ඩොලර් මිලියන දෙකකට අධික මුදල මෙරට ජනතාව වෙනුවෙන් ලබා දීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළේ.
එමෙන්ම ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ සුපිරි ක්‍රීඩකයින් දෙදෙනෙකු වන ස්ටිව් ස්මිත් හා මිචෙල් ස්ටක් ශ්‍රී ලංකාවට ආධාර ලබා දෙන ලෙස ජාත්‍යන්තරයෙන් ඉල්ලීමක් කළා. ඒ, ඩොලර් මිලියන 47.2ක ආධාර අපේක්ෂාවෙන්. එමෙන්ම හදිසි ආහාර සහ ඖෂධ වෙනුවෙන් තවත් ඩොලර් මිලියන 50 ක ආධාරයක් දුන් ඕස්ට්‍රේලියාව මේ මොහොතේ ඔවුන්ට කළ හැකි දායකත්වය ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබාදෙමින් සිටිනවා.
එවන් පසුබිමක සමස්ථ ශ්‍රී ලංකාවේම ආදරයට හා ගෞරවයට පාත්‍ර වූ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමට කෘතගුණ දැක්වීමට ශ්‍රී ලාංකිකයින් අද සූදානම් වනවා.
ඔස්ට්‍රේලියාවට ස්තූති කිරීමට කහ වර්ණයෙන් සැරසී පැමිණෙන ප්‍රේක්ෂකයන්ට සහාය දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයන්ට කහ වර්ණයෙන් සැරසී අද තරගයේ රාජකාරී සඳහා පැමිණෙන ලෙසට එම ආයතනය ඉල්ලීමක් කර තිබේ.
“අපිට ඉතාමත් ආඩම්භරයක් සහ සන්තෝෂයක් අපි බලාපොරොත්තු වුනාට වඩා සාර්ථකව මේ තරගාවලිය පැවැත්වීමට අපිට හැකි වුණා. ඒ නිසා මම ස්තූති කරන්න ඕන අපේ ක්‍රීඩා ලෝලීන්ට ඔවුන්ගේ හැසිරීම, ඔවුන්ගේ පැමිණීම විශේෂයෙන්ම, අපි ගහපු මැච් 7ම ක්‍රීඩාංගණය පිරී ඉතිරී ගියා ප්‍රේක්ෂකයින්ගෙන්. ඒක ලොකු ආඩම්භරයක් අපිට. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විදියට කහ ඇඳුමින් සැරසිලා එන එකට අපේ සහයෝගය දෙන්න අපි තීරණය කරලා තියෙනවා. විශේෂයෙන්ම කියල තියෙනවා අපේ කාර්ය මණ්ඩලයට කහ ඇඳුමින් සැරසී අනිත් අයට සහයෝගය දෙන්න කියලා. ප්‍රථමයෙන්ම ඒක පටන්ගත්ත අයට ස්තූතිවන්ත වෙන්න ඕන ඒ වගේ අදහසක් ඔවුන්ට ඇවිල්ලා ඒ වගේ ප්‍රතිචාරයක් ඔස්ට්‍රේලියානු කණ්ඩායමට දෙන්න තීරණය කිරීම ගැන.”
තරඟය අද පස්වරු 2.30ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතය.