Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

තත්වය බරපතලයි – තෙල් සියල්ල අවසන්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ඉන්ධන සැපයුම බරපතළ අර්බුදයක් බවට පත්ව ඇති බවත් ඉන්ධන නෞකාවක් නැවත ලැබෙන දිනයක් නිශ්චිතව කිව නොහැකි බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඊයේ (16) පැවසීය. ඉකුත් වසරක පමණ කාලය තුළ ඉන්ධන ආනයනය කළ සැපයුම්කරුවන්ට ඩොලර් හැත්තෑ තුන් කෝටි පනස් ලක්ෂයක් පමණ ණය වී ඇති බවත් එම තත්ත්වය හේතුවෙන් ඉන්ධන සැපයුම්කරුවන් ටෙන්ඩර් සඳහා ඉදිරිපත් නොවන බවත් ඔහු කීවේය.

ඒ හේතුවෙන් ඉදිරි ඉන්ධන සැපයුම දැඩි අභියෝගයක් බවද අමාත්‍යවරයා සඳහන් කළේය. ඇමැතිවරයා මේ බව සඳහන් කළේ එම අමාත්‍යාංශයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදීය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසන ආකාරයටම ඉන්ධන ආනයන කිරීම වඩාත් බරපතළ ක්‍රියාවලියක් බවට පත්ව ඇති බව කී හෙතෙම ඉදිරි කාලය වඩාත් අමාරු කාලයක් වනු ඇති බවද කීවේය. වර්තමානයේ ප්‍රධාන කරුණ ඉන්ධන සැපයුම පවත්වාගෙන යෑම වුවත් ඉන්ධන සැපයුම පහසුවෙන් කළ හැකි දෙයක් නොවන බවත්,

මීට වසරකට පමණ පෙර සැපයුම්කරුවන් සමග සාකච්ඡා කර ගිවිසුම්ගත වී තිබුණේ නම් ගැටලුව මෙතරම් බරපතළ නොවන බවත්, අමාත්‍යවරයා සඳහන් කළේය.

තමන්ට පෙර සිටි බලශක්ති අමාත්‍යවරයා මීට මාස අටකට පමණ පෙර අවශ්‍ය කටයුතු කර තිබුණේ නම්, මෙම අමාරු තත්ත්වයට මුහුණ දීමට සිදු නොවන බව අමාත්‍යවරයා පැවසුවේ.. ශ්‍රී ලංකාවේ වර්තමානයේ සිටින ණය ශ්‍රේණිගත කිරීම, පෙර සැපයුම්කරුවන්ට මුදල් නොගෙවීම ඇතුළු කරුණු හේතුවෙන් නව සැපයුම්කරුවන් සමඟ කටයුතු කිරීම වඩාත් අමාරු කටයුත්තක් බවට පත්ව ඇති බවද ඔහු සඳහන් කළේය. ශ්‍රී ලංකාව පසුගිය වසරේ ජූලි මස සිට මේ දක්වා වසරක පමණ කාලය තුළ ආනයනය කළ ඉන්ධන සඳහා මෙම ණය මුදල ගොඩගැසී ඇති බව කී අමාත්‍ය විජේසේකර මහතා එම කාලය තුළ ශ්‍රී ලංකාවට සැපයුම්කරුවන් ඉන්ධන ලබාදීමේදී මාස හය සහ 12 බැගින් වූ ණය පහසුකම් සැපයීම නිසා ගැටලුවක් නොවූ බව ද සඳහන් කළේය.

තෙල් සංස්ථාව ඉන්ධන මිලදීගැනීමට ටෙන්ඩර් ක්‍රියාවලිය අනුගමනය කළ ද සැපයුම්කරුවන් ටෙන්ඩර් සඳහා ඉදිරිපත් නොවීම ගැටලුවක් බවත්, ඉදිරිපත් වන එකම ටෙන්ඩරයට ඉන්ධන මිලදීගත නොහැකි නිසා, ඉන්ධන මිලදී ගැනීමේ කමිටුවට මිල ගණන් ඉදිරිපත් කර අනුමැතිය ලබා, වෙනත් ආකාරයේ ක්‍රමයකට ඉන්ධන මිලදීගැනීමට සිදුවී ඇති බවත් අමාත්‍යවරයා පැවැසීය. ඉන්ධන මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය සහ සෙසු රාජ්‍යයන් හා මෙන්ම සමාගම් සමගද සාකච්ඡා කරමින් පවතින බව කී අමාත්‍යවරයා රුසියානු රජය සමග ද ඉන්ධන සම්බන්ධයෙන් තව දුරටත් සාකච්ඡා කරමින් සිටින බව කීවේය. ලබන මාසයට අවශ්‍ය ඉන්ධන ආනයනයට ඩොලර් කෝටි 55ක් පමණ අවශ්‍ය වුවද, මහා භාණ්ඩාගාරයෙන් කෝටි 10ක් පමණක් ලබාදීමට එකඟ වූ බවත් ඒ අනුව ඩොලර් කෝටි 40 ක පමණ අඩුවක් පවතින බවත්, අමාත්‍යවරයා සඳහන් කළේය.

නව සැපයුම්කරුවන්ට මහජන බැංකුව හරහා ණයවර ලිපි නිකුත් කිරීමෙන් පසුව ඊළඟ ඩීසල් සහ පෙට්‍රල් නෞකාව පැමිණෙන දිනය කිවහැකි බවත් නෞකා තුනක් පැමිණීමට නියමිතව තිබුණද එහි දිනයක් ප්‍රකාශ කිරීමට ඉක්මන් නොවන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. ඉකුත් 9 සහ 10 දෙදින ඩීසල් සහ පෙට්‍රල් නෞකා දෙකක් ගෙන්වා ගැනීමට සැලසුම් කර තිබුණ ද, සති දෙකක කාලයක් ණයවර ලිපි විවෘත කිරිමට නොහැකි වූ බවත් එම නෞකා දෙක ශ්‍රී ලංකාව ආසන්නයටම පැමිණි පසු ණයවර ලිපි නිකුත් කළ නොහැකි බව එම බැංකුව දැනුම් දුන් බවත් අමාත්‍යවරයා පැවැසීය. එම නෞකා ලබාගැනීමට නොහැකි වුවද ඒ සඳහා අවශ්‍ය රුපියල් කෝටි 2000 ක් මහා භාණ්ඩාගාරය දුන් බව කී අමාත්‍යවරයා එම නෞකා දෙක නිදහස් කර ගැනීම සඳහා ඩොලර් නවකෝටි පනස් ලක්ෂයක පමණ මුදලක් සංස්ථාව සතුව පවතින බව කීවේය.

යම් තදබදයක් මේ දිනවල ඇති වී තිබෙන්නේ 9 සහ 10 දෙදින ඩීසල් සහ පෙට්‍රල් නෞකා දෙක ගෙන්වා ගැනීමට නොහැකි වීම නිසා බවත් ඉදිරි දින තුන තුළ ඉන් එක නෞකාවක් ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වන බවත් හෙතෙම සඳහන් කළේය. එම නෞකා දෙක දින අටකින් ගෙන්වා ගැනීමට හැකිවනු ඇති බවට විශ්වාස කරන බව අමාත්‍යවරයා කීවේය. එම නෞකා ගෙන්වීම, මහජන බැකුව ණයවර ලිපි විවෘත කරන දිනය මත තීරණය වන බව කී අමාත්‍යවරයා ඒ සඳහා ණයවර ලිපි ඊයේ (16) සවස වනවිට නිකුත් කිරීමට නියමිතව තිබූ බවද පැවැසීය.

මෙරට දිනක ඩීසල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 5000 ක් පමණ වුවද,

මේ වන විට දෙනිකව නිකුත් කරන්නේ ඩීසල් මෙට්‍රික් ටොන් 3000 ත් 3200 ත් අතර ප්‍රමාණයක් බව කී ඇමැතිවරයා දිනක පෙට්‍රල් අවශ්‍යතාව මෙටිටොන් 3200 ක් පමණ වුවද දිනකට නිකුත් කරන්නේ මෙට්‍රික් ටොන් 2600 ක් පමණ බව කීවේය. ඩීසල් සහ පෙට්‍රල් සැපයුම්කරුවන් දෙදෙනකුට සැපයුම් වාර තුනක් සඳහා සහ බොරතෙල් සැපයුම්කරුවන් හතර දෙනකුට ආනයනය සදහා අවසර බලපත්‍රය ලබාදුන් බව ද ඔහු සඳහන් කළේය.

ඉන්දීය ණය ආධාර යටතේ ලැබුණ ඩෝලර් කෝටි 70 නිසා පසුගිය මාස කීපයේ ඉන්ධන ආනයනයට යම් පහසුවක් ලැබුණ නමුත් දීර්ඝ කාලීන සැපයුම්කරුවන් පිළිබඳව ගැටලුකාරී තත්වයක් නිර්මාණය වී ඇති බවත් මුදල් ගෙවන කාලය පිළිබඳව මේ වන විට ක්‍රියාවලියක් සකස් කරමින් සිටින බවත් ඉන්ධන සම්බන්ධයෙන් ජනතාව මුහුණ දී සිටින ගැටලුකාරී තත්වය පිළිබඳව තමන්ට හොඳ අවබෝධයක් ඇති බව කී අමාත්‍යවරයා සංස්ථාව සතුව ඇති ඉන්ධන තොග මේ මස 21 වැනිදා දක්වා කළමනාකරණය කරන බවත් කීවේය. කපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ද මේ වන විට නිෂ්පාදන කටයුතු ක්‍රියාත්මක වන බවත් ඉන් දිනකට පෙට්‍රල් මෙට්‍රික් ටොන් 350 ක් සහ ඩීසල් මෙට්‍රික් ටොන් 600ක්ද ගුවන්යානා තෙල් , දැවිතෙල් සහ ගෑස් නිෂ්පාදන කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

එළැඹෙන ජූලි මස මුල සතියේ සිට ඉන්ධන සදහා සලාක ක්‍රමයක් ආරම්භ කරන බවත් ඕනෑම පුද්ගලයකුට නිශ්චිත ඉන්ධන ප්‍රමාණයක් ලැබෙන ආකාරයට එම ක්‍රමය සකස් කරන බවත්, බලශක්ති අමාත්‍යවරයා සඳහන් කළේය. පුද්ගලයකු ලියාපදිංචි වන පිරවුම්හලෙන් අවම වශයෙන් මාසයකට නියමිත ඉන්ධන ප්‍රමාණයෙන් සියයට 60 ක් හෝ ලබාගත හැකි ආකාරයට සලාක ක්‍රමය සකස් කරන බවත් ඉතිරි ඉන්ධන ප්‍රමාණය වෙනත් පිරවුම්හලකින් ලබාගත හැකි බවත් අමාත්‍යවරයා කීවේය. පවතින තත්වය තුළ ඉන්ධන පිරවුම්හල්වල හිමිකරුවන්ට සහ සේවකයන්ට බාධාවන ආකාරයට කටයුතු කිරීමෙන් වලකින්නැයිද ඇමැතිවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

යොහාන් භාසුර-lankadeepa

Scroll to Top