Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

හෙළදිව ධර්මද්වීපයක් කළ අසිරිමත් පොසොන් පෝදා

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මිහිඳු මහරහතන් වහන්සේගේ ශ්‍රී ලංකා ගමනය ශ්‍රී ලංකාවාසී අප හැමදෙනාගේ ම ගත සිත සුවයට මහත් අස්වැසිල්ලක් ලෙස අදත් අපට දැනේ. එදා මේ රටේ විසූ බොහෝ ජන කොටස්වලට ද එය එසේම වන්නට ඇති.

එසේ කියන්නේ උන්වහන්සේ දේශනා කළ නවතම දහම ඕනෑම ජන සමාජයක නිවීම සැනසීම පිණිස හේතු වූ දයාව, කරුණාව, මෛත්‍රිය, කළගුණ සැලකීම වැනි මානුෂික ගුණාංග මිනිස් හදවත් තුළ තහවුරු වන ආකාරයේ දහමක් වූ නිසා ය.

එදා පොසොන් පුර පසළොස්වක පෝදා අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට ථෙරවාදී බුදුදහම හඳුන්වා දුන්හ. ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල යන රහතන් වහන්සේ සතර නමත්, ෂඩ් අභිඥාලාභී සුමන සාමණේරයන් වහන්සේත්, භණ්ඩුක නම් අනාගාමි උපාසකතුමාත් මිහිඳු මහ රහතන් වහන්සේ සමඟ මෙහි සැපත් වූහ.

ශ්‍රී ලංකාවට නිර්මල බුදු දහම බෙදා දුන් ඓතිහාසික පුණ්‍ය භූමිය මිහින්තලා පුදබිමයි. එදා අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ මේ පුණ්‍ය භූමියට වැඩම කර ලංකාවේ සම්බුද්ධ ශාසනය ප්‍රතිෂ්ඨාපනය කළේ මේ පුණ්‍ය භූමියේ දී යි.

මිහිඳු මහරහතන් වහන්සේ දේවානම්පියතිස්ස මහරජු පිළිබඳ විධිමත් බුද්ධි පරීක්ෂණයක් සිදු කළහ. අඹ පැනය හා නෑ පැනය ආදිය මුල් කරගෙන සිදු කළ එම බුද්ධි පරීක්ෂණයෙන් පසු දේවානම්පියත්සිස මහ රජු මනා බුද්ධිමතෙකු බව මිහිඳු මාහිමියනට අවබෝධ විය.

අනතුරුව පිරිස් සහිත මහ රජුට තෙරුවන් පිළිබඳවත් බෞද්ධ චින්තනය පිළිබඳවත් හඳුන්වාදීමට චුල්ල හත්ථිපදෝපම සූත්‍රය දේශයා කළේ ය. දේශනාවසානයෙහි මහරජු ප්‍රමුඛ හතළිස් දහසක් පිරිස තෙරුවන් සරණ ගියහ. මහින්දාගමනයෙන් දෙවැනි දිනයේ දී රජ මැදුරේ දී පේතවත්ථු, විමානවත්ථු, සච්චසංයුත්තාදිය මුල් කරගෙන ධර්ම දේශනා පැවැත්වීය. මුල් දිනයෙහි ධර්ම දූතයන් වහන්සේලා දුටු මිනිසුන් සිය අසල් වැසියනට ඒ ගැන දැන් වූ හෙයින් මෙම දෙවන දින බණ ඇසුමට දහස් ගණනින් ජනයා රජ මැදුරට එක්රැස් වූහ. ඒ සියලු දෙනාට රජ මැදුර ඉඩ මද වූයෙන් මහරජු මගුල් ඇත්හල සරසා එහි අසුන් පැනවීය. ඉක්බිතිව මිහිඳු මහරහතන් වහන්සේ පිළිවෙලින් දේවදූත බාලපණ්ඩිත, ආසීවිසෝපම, අනමතග්ගිය, ධම්මචක්කප්පවත්තන යනාදී සූත්‍ර දේශනාවන් පවත්වා දහස් ගණනින් ජනයා මාර්ගඵලාවබෝධයට පත් කරවූහ.

ධර්ම දූතයන් වහන්සේලාගේ වාසස්ථානය සඳහා “මහ මෙවුනා උයන” පූජා කළ මහ රජු මිහිඳු මාහිමි සමඟම එම උයන වටා ඇවිද සීමා මාලකාදිය පිහිටවිය යුතු තැන් නියම කරවා ගත්හ. දූත පිරිස අතර වූ භණ්ඩුක කුමරු පැවිදි උපසම්පදා කිරීමෙන් ලක්දිව මුල්ම පැවිදි උපසම්පදාව ද ඇරඹිණි.

Scroll to Top