Aboutceylon Online

අයහපත් කාලගුණයෙන් පුද්ගලයන් 15,753කට පීඩා

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

රටේ ප්‍රදේශ රැසකට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එක් පුද්ගලයකු මරණයට පත්ව පවුල් 3,583කට අයත් පුද්ගලයන් 15,753ක් පීඩාවට පත්ව සිටිති. මෙයින් වැඩිම බලපෑමක් එල්ලවී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයට වන අතර, එම දිස්ත්‍රික්කයේ පවුල් 2,448කට අයත් 8,517 දෙනෙක් පීඩාවට පත්ව ඇතැයි ආපදාකළමනාකරණ මධ්‍යස්ථානය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ රාජකාරි අවසන් කර නිවෙස බලා ගමන් කරමින් සිටි සහන සේවා නිලධාරියකු වන අතර, ඔහු රත්නපුර, කුරුවිට ප්‍රදේශයේදී ගංවතුරට ගසාගෙන යෑමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 6කට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 22කට දැඩි බලපෑම් එල්ල වී ඇත.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි බවය.

අනුරාධපුරය දිස්ත්‍රික්කයේ ද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු,උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලයසහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40 ක පමණ තද සුළං ඇතිවිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.

Scroll to Top