දැනට ගොඩ වී තිබෙන මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටා ඇති වෑපොල – නාගහවැව, කොරස වැව, ගොඩ වැව යන වැව් තුන ප්‍රතිසංස්කරණය කර දෙන්නේ නම් යල මහ දෙකන්නය ම සාර්ථක ලෙස වගා කර ඉහළ අස්වැන්නක් ලබාගත හැකි යැයි’ මේ ප්‍රදේශයේ ගොවි ජනතාව පවසති. ඉතිහාස හා ජනප්‍රවාද අනුව මෙම වැව් තුන පැරණි වැව් තුනකි.
එම ඉතිහාස හා ජනප්‍රවාද අනුව දෙවනපෑතිස්ස යුගය හා උඩුගම්පොළ රාජධානිය කරගත් සකලකලා වල්ලභ රාජසමය දක්වා එම වැව් තුනේ පැරණි ඓතිහාසිකත්වය විහිදෙයි. දෙවනපෑතිස්ස රාජ සමයේ සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ලක් දිවයිනට වැඩමවා ගෙන ආගමනේ දී බෝධිගුප්ත, සුමිත්ත යන රාජ කුමාරයන් දෙදෙනා සමග අටලොස් කුලයක පිරිසක්ද පැමිණ ඇත. දේවානම්පියතිස්ස රජතුමා එම පිරිස ඇතුළු රාජ කුමාරයන් පිළිගෙන එම දෙදෙනාට අමාත්‍ය පදවි පිරිනමා එම පිරිසත් සමගින් දිවයිනේ යම් යම් ප්‍රදේශවල ගම්වර ලබාදී පදිංචි කරවූ බව ඉතිහාසයේ සඳහන් වෙයි.
ඒ අනුව සුමිත්ත කුමාරයාට අමාත්‍ය පදවියක් පිරිනමා විල්ගමු ප්‍රදේශයට (වර්තමානයේ දොරණාගොඩ) ඇතුළත් අටසිය සැත්තෑ පහමුණක් පමණ කෙත්වතුපිටි පිරිනමා පදිංචි කරවූ බව බෝධිවංශයෙහිද සඳහන් වෙයි. එදා විල්ගමුව වශයෙන් හැදින්වූ (වර්තමානයේත් දැනට භාවිතා කෙරෙන දොරණාගොඩ ග්‍රාමයේ විල නමින් හැඳින්වෙන ප්‍රදේශයක් ඇත.)
විල්ගමුව (වර්තමානයේ දොරණාගොඩ) මුල්කරගෙන පදිංචි වූ සුමිත්ත අමාත්‍යවරයා එදා සුදුසු පරිදි වාසභවනයක් ද ඉදිකර ගෙන එදා සමාජයේ පැවති ‘වැවත් – දාගැබත්’ යන සංකල්පය යටතේ දොරණාගොඩ පිහිටි උස් ස්ථානයක චෛත්‍යයක් සමගින් විහාරයක් ගොඩ නංවා එයට සුමන්තින්දාරාම පුරාණ රජ මහා විහාරස්ථානය වශයෙන් නම් තැබීමේ ප්‍රතිඵලයක් වශයෙන් දොරණාගොඩ ශ්‍රී සුමන්තින්දාරාම විහාරය බිහිවී ඇත.
මෙසේ ප්‍රධාන වැව් තුනක් හා තවත් සුළු වැව් කීපයක් ගොඩනංවා වී ගොවිතැනින් සශ්‍රීක කිරීමෙන් පසු එම වී සුරක්ෂිත කර ගබඩා කිරීම සඳහා වී ගබඩාවක් ඉදිකල ප්‍රදේශය විගොඩ නමින් අද දක්වාම භාවිතයට පත්ව තිබෙයි.
කොරස සමගි ගොවි සංවිධානයේ සභාපති රත්නවීර නැලිගම මහතා – කොරස හා දොරණාගොඩ යන ගම් ආශ්‍රිතව තමයි වෑපොල – නාගහවැව, කොරස වැව, ගොඩවැව යන නම් වැව් තුන පිහිටා තිබෙන්නෙ. මේ වැව් තුනේ ඉතිහාසය දේවානම්පියතිස්ස යුගය හා උඩුගම්පොල සකලකලා වල්ලභ රජ දවස දක්වා දිවෙනවා.
දේවානම්පියතිස්ස රජ දවස සුමන්ත්රී අමාත්‍යවරයා විසින් දොරණාගොඩ සූමන්තින්දාරාමයත් දඩගමුවේ විහාරස්ථානයක් කරවා තිබෙනවා. විහාර කර වූ එම අමාත්‍යවරයා ප්‍රදේශය සහලින් ස්වයංපෝෂිත කිරීමට ඉහත කී වැව් තුන නිර්මාණය කරවා තිබෙන බවත් කියවෙනවා. උඩුගම්පොල රාජධානිය කරගත් සකලකලා වල්ලභ රජුත් සිය බල ප්‍රදේශයේ වාරිමාර්ග ඇති කරමින් කෘෂිකර්මය නඟා සිටුවීමට ක්‍රියාකර තිබෙනවා.
කෙසේ හෝ වේවා මෙම වැව් තුන පෞරාණිකයි. මෙම වැව් තුනේ විශේෂත්වය වන්නේ එක් කන්නයකදී කුඹුරු වලට අවශ්‍ය ජලය බාධාවකින් තොරව ලබාදීමත් ඊලඟ කන්නයේදී එම වැව් තුනම වී වගාවට යොදාගෙන තිබීමත්ය. මේ වනවිට එම වැව් තුනම ගොඩ වී වී වගාව සඳහාම යොදාගෙන තිබෙනවා. මෙම වැව් තුනෙන් අස්වැද්දූ සියලු කුඹුරු මඩ කුඹුරු. අදටත් මඩ කුඹුරු මෙම වැව් තුන ප්‍රතිසංස්කරණය කර දෙනවානම් ප්‍රදේශයට අවශ්‍ය සහල් මෙම ප්‍රදේශයෙන්ම නිපදවා ගැනීමට හැකිවෙනවා.
වෑපොල සිසිර කුමාර මහතා –
ප්‍රදේශයේ පෞරාණික වැව් තුනින් වෑපොල නාගහවැවද වී ගොවිතැන සඳහා ජලය සැපයූ ප්‍රධාන වැවක්. කාලයාගේ ඇවෑමත් සමග එම වැව් හදිසි ආපදාවන්ට ගොදුරු වී කැඩී බිදී ගොස් තිබෙනවා. එම වැව් තුනේම ජලය කුඹුරුවලට ගෙනයාම සඳහා සොරොව් භාවිතා කර තිබුවත් ඒවාද එම හදිසි ආපදා වලට ගොදුරු වී විනාශ වී තිබෙනවා. ඒවායේ නටඹුන් තිබෙනවා. වැව් බැමි අඩි 30 – 40 ට මුල් යුගයේ තිබුවත් කෙසේ හෝ හදිසි ආපදාවන්ට ගොදුරු වී ඒවා විනාශ වී ගොස් තිබෙනවා.
වෑපොල – නාගහ වැවද අද කුඹුරක් බවට පරිවර්තනය වී තිබෙනවා. මේ වැවේ පරිමාව වපසරිය පිලිබදව මාබොදල ගොවි ජනසේවා කාර්යාලයටද දන්වා තිබෙනවා. වැවේ පරිමාව පිලිබදව මැණුම් කටයුතු සිදුකරන ලෙස රජයේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවට දැන්වීමේ ප්‍රතිඵලයක් වශයෙන් මැණුම් කටයුතු සිදු කිරීමට සූදානම් වන විට කොරෝනා ව්‍යසනය හමුවේ එයද නතර වී තිබෙනවා.
ගොඩ වැව කියන්නෙත් පුරාණ වැවක්. එයද මේ වන විට ගොඩ වී කුඹුරක් බවට පත්ව තිබෙනවා. මේ වැව් ප්‍රතිසංස්කරණය කර දෙන්නේ නම් දෙකන්නයම සාර්ථක ලෙස වගා කරන්න හැකිවෙනවා.
උඩුගම්පොල – එල්. ඩබ්ලිව්. ආරියරත්න