අදවන විට මේ රටේ තරුණ පරපුර ප්‍රමුඛකරගත් සාමාන්‍ය සිවිල් ජනතාව රට වෙනුවෙන් වූ තම යුතුකම ඉටුකිරීම සඳහා ස්වෙච්ඡාවෙන්ම පෙරට පැමිණ තිබේ. එය අතිශයින්ම ප්‍රශංසා කටයුතු දෙයකි. ඔවුන් වෙත මුළු මහත් ජාතියේම ගෞරවය හිමිවිය යුතුය.
ඔවුන් එක හඩින් ඉල්ලා සිටින්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා අත්‍යාවශ්‍ය වශයෙන්ම සිදුකල යුතුව ඇති දේශපාලන ප්‍රතිසංස්කරණයන් ය. එමෙන්ම අදවනවිට මේ රටේ ජනතාව මුහුණ දෙමින් සිටින අනේකවිධ ගැටළුවලට විසදුම් ලබාදෙන ලෙසටය. රටේ ආර්ථිකය නිසි කළමනාකරණයකින් යුතුව නැවත යථා තත්වයට පත්කරන ලෙසටය.
සැබවින්ම ඒවා ඉතාමත්ම සාධාරණ හා යුක්ති සහගත ඉල්ලීම් වේ. ඒ කිසිවක් ඔවුන්ගේ පටු පුද්ගලික අභිමතාර්ථයන් සපුරා ගැනීම සඳහා වන ඉල්ලීම් නොවේ. සමස්ත රට වෙනුවෙන්, රටේ ජනතාව වෙනුවෙන් හා මතු පරපුරේ යහපත හා ආරක්ෂාව සඳහා වන ඉල්ලීම් වේ.
එබැවින් ගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය අන් සියල්ලටම පෙර සමස්ත ජාතියේම නාමයෙන් ඔවුන්ගේ එම ඉල්ලීම් කෙරෙහි සාවධානව ඇහුම්කන් දියයුතුව තිබේ. තම පෞද්ගලික බලය හෝ වරප්‍රසාද පසෙකලමින් ඔවුන්ගේ ඉල්ලීම් කෙරෙහි නම්‍යශීලී වියයුතුව තිබේ.
එමෙන්ම රට වෙනුවෙන් හඩ නඟන අප රටේ ආදරණීය දූ දරුවන්ගෙන් ද එක ඉල්ලීමක් කිරීමට කැමැත්තෙමු. එනම් ඔබ අධිෂ්ඨානශීලීව ගෙනයමින් සිටින මෙම අරගලයේ ජීව ගුණය සමඟම මේතාක් දුරට ආරක්ෂා කරගත් සාමකාමී බව තවදුරටත් ආරක්ෂා කරගන්නා ලෙසටය. එමෙන්ම සියලු පාර්ශව අතර පවත්වාගත් නොබිඳුනු සමඟිය තවදුරටත් රැකගන්නා ලෙසටය.
අප මෙම ඉල්ලීම සිදුකරන්නේ ඒ සඳහා වන විශේෂ හේතූන් ද පැන නැගෙමින් පවතින නිසාය. එනම් ඔබගේ සමඟිය අධිෂ්ඨානය හා සාමකාමී ගුණය බිඳදැමීම සඳහා දියත් කරන ලද කුමන්ත්‍රණ කිහිපයක්ම මේ වනවිටත් හෙළිදරව් වී ඇති නිසාය.
විශේෂයෙන්ම රජයේ ආරක්ෂක අංශ තුළ ඔබ කෙරෙහි වෛරී ස්වභාවයක් නිර්මාණය කිරීම සඳහා වන සැලැසුම් සහගත ක්‍රමන්ත්‍රණ ඉදිරියේදී ද දියත්වීමට බොහෝ සේ ඉඩ ඇතැයි යන සැකය දැනටමත් බොහෝ දෙනෙකු තුළ මතුවී තිබේ.
එබැවින් ඔබගේ සහ රටේ ගෞරවය මේතාක් දුරට ආරක්ෂා කරගත් පරිද්දෙන්ම තවදුරටත් පවත්වාගෙන යාම වැදගත්ය. අප ඔබවෙතින් මෙම ආයාචනය සිදුකරනු ලබන්නේ ඔබේත් රටේත් ගෞරවය ඉතා වැදගත් වන නිසාවෙනි.
එමෙන්ම අප රටට මහත් ව්‍යසනයක් වී ඇති විධායක ජනාධිපති ක්‍රමය අහෝසී කිරීම සඳහා වන අවශ්‍යතාවය සමාජයේ සෑම පාර්ශවයක් වෙතින්ම පිළිගෙන තිබීම සහ ඒ සඳහා වන තම උනන්දුව හා අභිලාෂයන් ප්‍රකාශයට පත්වෙමින් තිබීම ඉතාමත්ම සුබදායක තත්වයක් ලෙස අපි සලකන්නෙමු.
අප සංවිධානය එහි ආරම්භයේ සිටම කැපවූයේ ද එම අරමුණ වෙනුවෙනි. අපවත් වී වදාල අතිපූජ්‍ය මාඳුළුවාවේ සෝභිත නාහිමිපාණන් වහන්සේ සිය ජීවිත කාලයේ අවසන් යුගයම කැප කරන ලද්දේ එකී අරමුණ වෙනුවෙනි.
අදවනවිට එය මේ රටේ සමස්ත තරුණ පරපුරද ඇතුළු දේශපාලන බලවේග අන් කවර දාකටත් වඩා ඉදිරියට ගෙන තිබීම අප සලක්නනේ රටේ යහපත සඳහා වන සාධනීය පියවරක් ලෙසටය.
එබැවින් අප මේ රටේ සියලුම දේශපාලන පක්ෂ වෙතින් හා විශේෂයෙන්ම වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම මහජන මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ ඒ සඳහා නොපමාව ඉදිරි පියවර ගන්නා ලෙසටය.