නුවරඑලිය වසන්ත උදානය සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ලබාදුන් මාර්ග උපදෙස් වලට අනුකුලව අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන බව නුවරඑලිය මහ නගර සභාවේ නගරාධිපති චන්දනලාල් කරුණාරත්න මහතා පැවසිය.
නුවරඑලියේදි (18) දින විශේෂ මාධ්‍යම හමුවක් පවත්වමින් නගරාධිපතිවරයා ඒ බැව් පැවසිය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු චන්දනලාල් කරුණාරත්න මහතා කියා සිටියේ එළඹෙන අප්‍රේල් මස 01 දින සිට 30 දින දක්වා වසන්ත උදානය පවත්වන බවත්, ඒ සදහා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ලිඛිත අවසරයද ලබාගෙන ඇති බවයි.
නුවරඑලියට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් වෙනුවෙන් අවශ්‍ය යටිතල පහසුකම් නංවාලිමේ කටයුතු මේ වන විට සිදු කරමින් පවතින බවත්, එසේ පැමිණෙන සංචාරකයන් වෙනුවෙන් අනුගමනය කල යුතු සෞඛ්‍ය උපදෙස් පිලිබදව නුවරඑලිය ප්‍රදේශයේ සියළුම සංචාරක හෝටල් හිමියන් සහ නවාතැන් පහසුකම් ලබාදෙන ස්ථානවල හිමිකරුවන් දැනුවත් කර ඇති බවද නගරාධිපතිවරයා පැවසිය.
පසුගිය කාලයේ නුවරඑලියේ ඇතැම් සංචාරක නවාතැන් පහසුකම් ලබාදෙන ස්ථානවලින් බාබකියු උදුන් තම කාමරය තුල තබා ගැනිමට අවස්තාව ලබාදුන් නිසා ජිවිත හානි කිහිපයක් සිදු වු බවත්, මින් ඉදිරියට එවැනි අනතුරු සිදු නොවිමට පියවර ගෙන ඇති බවද නගරාධිපතිවරයා පැවසිය.
මේ අතර නුවරඑලිය මහ නගර සභාවේ විපක්ෂ නායක , හිටපු නගරාධිපති සහ සංචාරක හෝටල් හිමියන්ගේ සංගමයේ සභාපති මහින්ද දොඩම්පේගමගේ මහතා කියා සිටින්නේ නුවරඑලියේ වසන්ත උදානය පවත්වන්නේ නම් නුවරඑලියේ මේ දිනවල උග්‍ර පානිය ජල ගැටළුවක් සහ ගැස් හිගයක් පවතින බවත්, ඒ සදහා පිලියම් යොදා වසන්ත උදානය පවත්වන ලෙසයි.
නුවරඑලිය ප්‍රදේශයේ සංචාරකයන් ප්‍රවාහනය කරන සංගමයේ සමාජිකයන්ද කියා සිටින්නේ නුවරඑලිය ප්‍රදේශයේ මේ දිනවල පවතින ඉන්ධන හිගය සහ ගැස් හිගයට විසදුම් ලබාදෙමින් වසන්ත උදානය පවත්වන්නේ නම් නුවරඑලියට පැමිණෙන සංචාරකයන්ට කිසිදු ගැටළුවක් නොවන බවයි.
හැටන් රංජිත් රාජපක්ෂ