Aboutceylon Online

සාමාජිකයන් සතුටු කරන ලියකියවිලි වලින් ඔබ්බ්ට ගිය ප්‍රායෝගික වැඩ වැඩපිළිවෙළක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

අලුතින් පිහිටුවා ගන්නා ලද වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය හා සෞඛ්‍ය ලේකම් වරයා අතර විශේෂ සාකච්ඡාවක් පසුගිය සිකුරාදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පවත්වා ඇත. මෙහිදී වෛද්‍යවරුන්ට බලපාන ගැටලු පහළොවකට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම්වරයා සමඟ වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ විධායක සභාව අදහස් හුවමාරු කර ගෙන ඇත.

වෛද්‍යවරුන්ගේ වැටුප් ගැටලුව , ශ්‍රේණි විෂමතා නව වෛද්‍ය සේවා ව්‍යවස්ථාව, පශ්චාත් විශේෂඥ වෛද්‍ය පුහුණු පාඨමාලාව සදහා යුරෝපා රටවල දැනට පවතින අවහිරතා ආදී කරුණු මෙහිදී ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට භාජනය වී ඇත.
වෛද්‍යවරුන්ගේ වැටුප් විෂමතාවයන් විසඳීම සඳහා විද්‍යාත්මක කමිටුවක් පත් කිරීමට යෝජනා වී ඇති අතර එය හමුවේ නව යෝජනා ඉදිරිපත් කරන ලෙස සෞඛ්‍ය ලේකම් එහිදී උපදෙස් ලබාදී ඇත.

වෛද්‍යවරුන් සඳහා දැනට ගෙවන පැය 120 අතිකාල දීමනා ක්‍රමය වෙනුවට වෛද්‍යවරුන්ගේ කාර්යක්ෂමතාව වැඩ ධාරිතාව දුෂ්කර ප්‍රදේශයන් හි සේවය කරන වෛද්‍යවරුන්ගේ සේවා අවශ්‍යතාව යන කරුණු ද සැලකිල්ලට ගෙන නව ක්‍රමවේදයකට යටතේ විද්‍යාත්මක පදනම් මත වෛද්‍යවරුන්ගේ අතිකාල හා අමතර වැටුප් ගෙවීම ඉහළ නංවන ලෙස වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් ලද වෘත්තීය සංසදය මගින් ඉදිරිපත් කරන ලද යෝජනාව සෞඛ්‍ය ලේකම්වරයාගේ පැසසුමට ලක් වී ඇත.

පර්යන්ත රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන් හා විශේෂඥ වෛද්‍යවරු සඳහා නේවාසික පහසුකම් වැඩි දියුණු කිරීමත් ඔවුන්ගේ දරුවන් පාසල්වලට ඇතුළත් කර ගැනීමේ දී දැනට පවතින ක්‍රමය වඩාත් කාර්‍යක්ෂම වියයුතු බවත් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෘත්තීය සංසදය මෙහි දී පෙන්වා දී ඇත.

දැනට වෛද්‍යවරුන් රාජ්‍ය සේවයේ නිරත අනෙකුත් සමාන්තර ශ්‍රේණි වලට සාපේක්ෂව පිහිටුවා ඇති වැටුප් පරිමාණ ස්ථානය පිළිබඳව සෑහීමට පත්විය නොහැකි බව ප්‍රකාශ කළ වෘත්තීය සමිති සන්ධානය ඒ සඳහා ආචාර්ය උපාධිය හා විශේෂඥ වෛද්‍ය පුහුණුව ලද වෛද්‍යවරුන් පිහිටු වියයුතු ස්ථාන සම්බන්ධයෙන් ද ක්‍රමවේදයක් සකස් කිරීමේදී විද්‍යානුකූල ප්‍රවේශයක් සඳහා යොමුවීමේ අවශ්‍යතාව දැඩිව අවධාරණය කොට ඇත.

මහා බ්‍රිතාන්‍යයේ පශ්චාත් වෛද්‍ය උපාධිය හදාරන වෛද්‍යවරු සඳහා සීමා පැනවීම සම්බන්ධයෙන් ද මෙහිදී විශේෂ අවධානයක් යොමුවී ඇති අතර මහා බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාල සමග සාකච්ඡා කොට මෙම ගැටලුව කඩිනම් විසඳීම සඳහා තමන් පියවර ගනිමින් සිටින බව සෞඛ්‍ය ලේකම්වරයා මෙහිදී පවසා ඇත.

දැනට රෝහල්වල පවතින ඖෂධ හිගය හා රෝගී සත්කාර ලබා දීමේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා ගත යුතු නව පියවරක් සම්බන්ධයෙන්ද මෙම සාකච්ඡාවට සහභාගි වූ වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් විවාද වෘත්තීය සංසදය කරුණු ඉස්මතු කර ඇත. මීට අමතරව වෛද්‍යවරු සඳහා තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබා දීමේ ක්‍රමවේදය ගැනත් රෝහල් සඳහා රෝහල් අධ්‍යක්ෂකවරු පත් කිරීමේ ක්‍රමය දැනට පවතින ක්‍රමයට වඩා විධිමත් හා රාජ්‍ය සේවා කොමිසන් සභාවේ අනුමැතියට යටත්ව සිදුවූ විය යුතු බවත් සඳහන් කර ඇති අතර නව වෛද්‍ය සේවා ව්‍යවස්ථාව ක්‍රියාත්මක වීම ප්‍රමාද වීමෙන් මෙවැනි ම රෝහල් පරිපාන ක්ෂේත්රයේ බොහෝ ගැටලූ ඉස්මතු වී ඇති බැවින් එය කඩිනමින් සක්‍රිය කරන ලෙස ඉල්ලීම් කර ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට අතිරේක ලේකම්වරුන් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරුන් සහ අධ්‍යක්ෂකවරුන් රැසක් සහභාගි වී ඇත. වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුගේ වෘත්තීය සමිති සන්ධානය වෙනුවෙන් එහි සභාපති වෛද්‍ය චමල් සංජීව , ලේකම් වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සමඟ විධායක සභාවේ සාමාජිකයෝ සහභාගි වී ඇත.

සාමාන්‍යයෙන් වෘත්තී සමිති සන්ධානයක් සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන් සමඟ සාකච්ඡා පවත්වන ක්‍රමය යට වඩා නිවැරදි සහ විද්‍යාත්මක කරුණු මත පදනම්ව තම සාකච්ඡාව පැවැත්වූ බවත් සාකච්ඡාව අවසානයේ තමන් ඉදිරිපත් කළ බොහෝ කරැණුවලට ඉතා සතුටුදායක ප්‍රතිචාර සෞඛ්‍ය අමාත්‍යාංශය පාර්ශවයෙන් ලැබීම සම්බන්ධයෙන් තමන් සුබවාදීව බලා සිටින බවත් අනාගතයේ සෞඛ්‍ය අමාත්‍යාංශය සෞඛ්‍ය ප්‍රතිපත්ති සම්පාදන කාර්යයේ දී දැනට පවතින වෘත්තීය සමිති ක්‍රියාකාරිත්වයන් සමඟ වඩාත් සාධනීය සහ විද්‍යාත්මක ප්‍රවේශයක් මත පදනම් ව බලාත්මක අන්දමින් කරුණු ඉදිරිපත් කරමින් පොදු මහජනතාවට සෞඛ්‍ය සේවාව ඉහළ ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් බවට පත් කිරීම සඳහා තම වෘත්තීය සමිති සන්ධානය සූදානම් විසින්ම බව මෙම සාකච්ඡාවෙන් අනතුරුව වෛද්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය වෛද්‍ය චමල් සංජීව මහතා මාධ්‍යයට ප්‍රකාශ කොට ඇත.

Scroll to Top