Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

මහා ශිව රාත්‍රී දිනය අදයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

හින්දු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන මහා ශිව රාත්‍රී දිනය අද(01)ට යෙදී තිබේ.

මහා ශිව රාත්‍රීය සැලකෙන්නේ දෙවියන් අතුරින් ලොව බලවත්ම දෙවියා තමා බව ශිව දෙවියන් ලොවට විදහා දක්වූ දිනය ලෙසයි.

ලොව බලවත්ම දෙවියා කවු ද යන්න පිළිබඳව විෂ්ණු දෙවියන්, මහා බ්‍රහ්මයන් හා ශිව දෙවියන් අතර ඇතිවූ මතගැටුමේදි , ශීව දෙවිදුන් මිහි ගැබේ සිට අහස් ගැබ දක්වා ආලෝක කදම්භයක් විහිදුවමින් එහි දෙකෙළවර සොයා ගන්නා අය බලවත්ම දෙවියා වන බව පැවසු බව හින්දු සාහිත්‍යයේ සඳහන් ය.

එහෙත් සූකර වෙස් ගනිමින් මිහිගැබ හාරමින් ගිය විෂ්ණු දෙවියන්ටත්, හංස වෙස් ගනිමින් අහස් ගැබ වෙත පියාසර කළ මහා බ්‍රහ්මයාටත් එහි දෙකෙළවර සොයා ගැනිමට හැකි වී නැහැ.

ඒ අනුව ලොව බලවත්ම දෙවියා ශීව දෙවියන් බවට හින්දු බැතිමතුන් විශ්වාස කරනු ලබයි.

‍හින්දු බැතිමතුන් මහා ශීව රාත්‍රි දිනය ලෙස සමරන්නේ ශිව දෙවියන් ආලෝක කඳම්බය නිකුත්කළ නැකත උදාවන දිනයේයි.

මේ අනුව හින්දු බැතිමත්හු අද රාත්‍රීයේ සිට හෙට උදෑසන දක්වා ශීව දෙවියන්ට පූජෝපහාර දක්වමින් මහා ශීව රාත්‍රීය සමරති.

අධ්‍යාත්මික සුවය , සශ්‍රීකත්වය සහ ප්‍රබෝධය සියලු දෙනාගේ යහපත් අභිමතාර්ථ සාධනයට හේතුවන සුබ මහා ශිව රාත්‍රී මංගල්‍යයක් වේවායි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේ, මහා ශීව රාත්‍රි දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමිනි.

ශිව දෙවියන් වෙනුවෙන් උපවාසයේ යෙදෙමින් යැදුම් පවත්වමින් හා භාවනායෝගීව සිටිමින් මහා ශීව රාත්‍රි දිනයේ අත්කරගත් අධ්‍යාත්මික ශක්තීන් සමස්ත සමාජයට එල්ලවී ඇති අභියෝග ජය ගැනීමට අශිර්වාදය එක් කරනු ඇතැයි සැමගේ අපේක්ෂාව බව, ජනාධිපතිවරයා සිය නිවේදනයෙන් පෙන්වා දෙයි.

මහ ශීව රාත්‍රි දිනය වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ සුබ පැතුම් පණිවුඩයේ දැක්වෙන්නේ, දුකට පත් සිතට ඔබ සතුට අපේක්ෂා කරනවා මෙන් අඳුරෙන් වැසුණු ජිවිතයට අද වැනි දිනක ඔබ ආලෝකය ප්‍රාර්ථනා කළ යුතු බවයි.

මහා ශිව රාත්‍රි දින උපවාසයේ යෙදෙන ශ්‍රී ලාංකික හින්දු භක්තිකයින්ගේ යහපත් ප්‍රාර්ථනා ඉටු වේවා යැයි අග්‍රාමාත්‍යවරයා සුභ පැතුම් එක් කරයි.

ලෝකවාසී සමස්ත හින්දු ජනතාවට සාමය , දයාව , සංහිඳියාව උදෙසා මඟ කියන අර්ථපුර්ණ මහා ශීර රාත්‍රි දිනයක් උදාවේවායි, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ පැතුමයි.

සිත නිශ්චිත අරමුණක පිහිටුවා ගනිමින් ලොව පුරා ජීවත්වන ලක්ෂ සංඛ්‍යාත හින්දු බැතිමතුන් මෙම දිනය උත්කර්ෂවත් ලෙස සමරන මමත්වය හා අහංකාරය දුරු කිරිමට ඉවහල් වන ප්‍රඥා ආලෝකය පැතිරේවා යැයි ද විපක්ෂනායකවරයා නිකුත් කළ සුබ පැතුම් පණිවුඩයේ සඳහන් ය.

Scroll to Top