Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

සත්තුවත්තේ සේවකයින්ගේ වැඩ නිසා සතුන් අමාරුවේ

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ උරගයින්ගේ සහ කුරුල්ලන්ගේ බිත්තර විකිණීමේ ජාවාරමක් පසුගිය කාලය පුරා සිදුවී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ෂර්මිලා රාජපක්ෂ පැවසුවාය.

එමෙන්ම,සත්වෝද්‍යානයයේ සිටි මැකෝ ගිරවා පසුගියදා අතුරුදහන් වූ බවට තොරතුරු වාර්තා වූවද,එම ගිරවා රුපියල් තිස් පන්දහසකට (35,000) අලෙවි කර ඇති බවට මේ වෙනවිට තොරතුරු ලැබී ඇතැයි ද ඇය කීවාය.

එමෙන්ම,ඉකුත් වසරේ (2021) ආයතනයේ සේවකයින්ගේ කබඩ් ආදිය පරීක්ෂා කිරීමේ දී සතුන්ගේ දත්,අලි කෙඳි ආදිය හමුවී තිබෙන බවත්,සත්ත්ව කොටස් අලෙවි කිරීමේ ජාවාරම සිදුව තිබෙන බවට මින් තොරතුරු අනාවරණය වන බවත් අධ්‍යක්ෂ ජනරාල්වරිය පවසයි.

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සේවකයකු සත්වෝද්‍යානය තුළ පෞද්ගලිකව පවත්වාගෙන යන පරෙවි කූඩුව පිළිබඳව ද පරීක්ෂණයක් අරඹා තිබෙන බව ඇය කීවාය.

ජාතික සත්වෝද්‍යානයයේ සතුන්ට ආහාර ලබා දීමට නොහැකි පරිදි කූඩු වල ඉබි කඩා වෙනත් අඟුළු යෙදූ සහ ජල මෝටරයේ වයර් මාරු කළ සේවකයින් තිදෙනකු පොලිස් පරීක්ෂණ වලදී හඳුනාගෙන ඇත.

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ මෙම සේවකයින් තිදෙනා සම්බන්ධව පොලිසිය අධිකරණයට ඊයේ (17) කරුණු ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි.

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති සාමාජිකයින් පිරිසක් පසුගියදා වැඩ වර්ජනයක නිරතව සිටින අතරතුර දී සතුන්ට ආහාර ලබාදීමට නොහැකි පරිදි සත්ත්ව කූඩු කීපයක ඉබි කඩා වෙනත් අගුළු යොදා තිබුණි.

දෙහිවල ජාතික සත්වෝද්‍යානයයේ පොහොර අලෙවි කිරීම සම්බන්ධව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සහ වනජීවි රාජ්‍ය අමාත්‍යාංශය විසින් පත්කරන ලද කමිටු දෙකක් මගින් පරීක්ෂණ කටයුතු කෙරෙන බව ද අධ්‍යක්ෂ ජනරාල්වරිය කීවාය.

 

Scroll to Top