ලෝකවාසීන්ට සෙත්පතා 43 වැනි වරටත් පවත්වනු ලබන කොළඹ ගංගාරාම විහාරයේ නවම් මහා පෙරහර මේ මස 15 සහ 16 දා චාරිත්‍රානුකූලව පැවැත්වීමට සියලු කටයුතු සංවිධාන කර ඇති බව සංවිධායක මණ්ඩලය වෙනුවෙන් ආචාර්ය කිරින්දේ අස්සජි හිමියෝ පවසති.
අලි ඇතුන් විශාල සංඛ්‍යාවක් සහිතව පැවැත්වෙන මේ පෙරහර කොළඹ නගරයේ පවත්වන එකම පෙරහර බැවින් දේශීය සහ විදේශීය නරඹන්නන්ගේ විශේෂ අවදානයට ලක් වී ඇත. පෙරහර දින දර්ශනය අනුව ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පැවැත්වෙන පෙරහර නවම් මහා පෙරහරයි.
හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ ආරම්භකත්වයෙන් ශතවර්ෂයකටත් අධික කාලයක සිට ශ්‍රී ලංකාද්වීපයේ ධර්ම ශාස්ත්‍රීය භාෂා සාහිත්‍ය පෝෂණයට උර දුන් ආගමික කේන්ද්‍රස්ථානයක් වූ හුණුපිටිය ගංගාරාමය දෙවුන්දර ශ්‍රී ජිනරතන නාහිමි, මහගොඩ ශ්‍රී ඤානිස්සර නාහිමි, මොරොන්තුඩුවේ ධම්මානන්ද නාහිමි, දෙවුන්දර සිරි වාචිස්සර නාහිමි, දෙවුන්දර සිරි රතනජෝති නාහිමි, ගල්බොඩ සිරි ඤානිස්සර නාහිමි යන මහා යතිවරයාණන් වහන්සේගේ අප්‍රතිහත ධෛර්යයෙන් හා කැපවීමෙන් අද වන විට දෙස් විදෙස් සුපතළ මහා වෙහෙර බිමක් බවට පරිවර්තනය වී තිබේ.
හුණුපිටිය ගංගාරාමය තවත් සුවිශේෂී වන්නේ, නවම් මහා පෙරහරත් සමඟය. පැරැණි සාම්ප්‍රදායික නැටුම් හා නිර්මාණය කරන ලද අලි ඇත් අනුරූවලින් සමන්විත වූ පෙරහරක් “ඇසළ පෙරහර” නමින් ගංගාරාම වෙහෙර බිම කේන්ද්‍රකොටගෙන පැවතුණි. ඒ බුදුරදුන්ගේ ප්‍රථම ධර්ම දේශනය සිහිපත් කරමිනි.
එහෙත් විවිධ හේතු නිසා එම පෙරහර අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යාමට නොහැකි විය. එසේ වුවද ආගමික හා සමාජයීය, සංස්කෘතික වටිනාකමක් ඇති පෙරහරක් අගනුවර කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමේ වටිනාකම මැනවින් අවබෝධ කරගත්, විහාරාධිපති ගල්බොඩසිරි ඤාණීස්සර ආචාර්ය නාහිමියෝ, එසේත් නැතිනම් අප කවුරුත් ආදරයෙන් ආමන්ත්‍රණය කරන ගංගාරාමයේ ‘පොඩි හාමුදුරුවෝ’ ගංගාරාමය කේන්ද්‍ර කර ගනිමින්, අපෙන් ගිලිහී යන සංස්කෘතික උරුමයන්ට පණ දෙන්නට නැවත පෙරහරක් ආරම්භ කරන්නට මූලිකත්වය දුන්හ.
එවකට අගමැතිව සිටි රණසිංහ ප්‍රේමදාස මහතාගේ අනුග්‍රහය ද ඒ සඳහා ලබා ගත්හ. කොළඹ නවම් මහ පෙරහර ආරම්භ වන්නේ ඒ අනුවය. මේ වන විට කොළඹ දී වාර්ෂිකව පැවැත්වෙන වෙනත් එකදු පෙරහරක් හෝ නොමැති වීම ද සුවිශේෂත්වයකි.
බෞද්ධාගමිකයන්ට නවම් මාසය වැදගත් වන්නේ සුවිශේෂී ශාසනික සිදුවීම් රැසකට මුල් වන නිසා ය. බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය උදෙසා පූජෝපහාරයක් ලෙසින් පැවැත්වෙන මෙම පෙරහර මංගල්‍යය සම්බුදු සසුනේ අගසවු තනතුරු ලැබු සැරියුත් මුගලන් දෙනමට එම අගසව් පදවි පිරිනැමීම, ප්‍රථම ධර්ම සංගායනාව, භික්ෂුන් වහන්සේට විනය නීති පැනවීම, ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම, තථාගතයන් වහන්සේ ආයු සංස්කාරය අත්හැරීම ආදි සුවිශේෂී සිදුවීම් රැසක් සිහිපත් කිරීම හේතුවෙන් නවම් මස හෙවත් පෙබරවාරි මස බෞද්ධාගමිකයන්ට වැදගත් වෙයි.
නවම් පෙරහර ත්‍රිවිධ රත්නයම සංකේතවත් කරන ආගමික වටිනාකමින් ඉහළ පෙරහරකි. බුද්ධ රත්නය සංකේතවත් කරමින් සධාතුක කරඬුව, බුද්ධ ප්‍රතිමා වහන්සේ, ධර්ම රත්නය සංකේතවත් කරමින් දහම් පොත්පත්, සංඝරත්නය සංකේතවත් කරමින් සංඝයා වහන්සේ විශාල පිරිසක් ද පෙරහරේ වැඩමවති.
නවම් පෙරහර අනෙකුත් පෙරහර අතර සුවිශේෂී වන්නේ ද, වෙනස් වන්නේ ද මෙසේ තුනුරුවන් පිදීම වෙනුවෙන්ම පැවැත්වෙන නිසා ය. දේවාල පෙරහර, දිය කැපීම ආදි අංග එහි ඇතුළත් නොවීම තවත් සුවිශේෂත්වයකි.
නවම් මහ පෙරහර ආරම්භ කළ දා පටන් එකම වතාවක් හැරුණු කොට මේ සා දීර්ඝ කාලයක් වාර්ෂිකව පෙරහර පැවැත්වීම ද වැදගත්ය. විහාරාධිපති ගල්බොඩසිරි ඤාණීස්සර ආචාර්ය නාහිමියෝ, එසේත් නැතිනම් “පොඩි හාමුදුරුවන්ගේ” අප්‍රතිහත ධෛර්යය හා ඕනැකම නිසාම ශ්‍රී ලංකාවේ පවතී ඇතැම් අඳුරු කාල වකවානුවල පවා පෙරහර නොනැවතුණේය.
එල් ටී ටී ඊ ත්‍රස්තවාදීන් රට පුරා බෝම්බ පුපුරුවමින් ගෙන ගිය භීෂණය නිසා බොහෝ සංස්කෘතික උත්සව නවතා දමන්නට සිදු විය. එහෙත් උන්වහන්සේ කියා සිටියේ රටට, ජාතියට උරුම වූ මෙවැනි සංස්කෘතිකමය කටයුතු නතර කොට බිය ගුල්ලන් සේ සැඟවී සිටියේනම් අපට, අපේ ජාතියට, ආගමට, සංස්කෘතියට අනාගතයක් ඉතිරි නොවන බවය.
ත්‍රස්තවාදීන්ගේ ඒකායන අරමුණ වන්නේ ද එය ම වන බවය. එසේ පවසමිනි උන්වහන්සේ ධෛර්ය හීන වූ අයට ධෛර්ය දුන්හ. එහෙත් එක්වරකදී පමණක් නවම් මහා පෙරහැර නොපැවැත්විණි. ඒ එදා ත්‍රස්තවාදීන් කොළඹ දී මහ බැංකුවට බෝම්බ ගැසූ අවස්ථාවේදීය. එසේ පෙරහැර නොපැවත්වුයේ ත්‍රස්තවාදීන්ගේ ම්ලේච්ඡත්වයට ඇති බිය නිසා නොව පෙරහර වෙනුවෙන් එක්රැස් වූ මුදල් ආධාර එම බෝම්බයෙන් තුවාල ලැබු අයට හා මරණයට පත්වූ අය වෙනුවෙන් ලබා දීම සඳහා බවද වාර්තා වෙයි.
විහාරාධිපති ගල්බොඩසිරි ඤාණීස්සර ආචාර්ය නාහිමියෝ, එසේත් නැතිනම් “පොඩි හාමුදුරුවන්” වහන්සේ නවම් මහ පෙරහර සංවිධානය කළ මේසා දීර්ඝ කාලයක් තුළ ලැබු අත්දැකීම්, ගැටලු, අභියෝග ද බොහෝ ය. උන්වහන්සේ ඒ අතරින් කිහිපයක් අද ද සිහිපත් කරති. ඒ සියල්ල සැහැල්ලු සිතින් මැදහත් බවින් ඉවසීම ද උන්වහන්සේගේ සිරිතය.
එකල පෙරහර සමාරම්භයේදී මුළු රටපුරා විමසා බැලුව ද උඩැක්කි වාදකයන් 25වත් සොයා ගැනීම අපහසු විය. ඒ අඩුව පුරවන්නට උඩැක්කි වැනි වාද්‍ය භාණ්ඩ පවා සාදවා දෙන්නට උන්වහන්සේට සිදු විය. එසේම 90 දශකයේ මෙරට තරුණ කැරැලිකරුවන්ගේ ක්‍රියාකාරකම් නිසා රටේ විවිධ කලබල ඇතිවුණි.
බොහෝ උත්සව, රැස්වීම් නවතා දමන්නට සිදු වුණි. එහෙත් ගංගාරාම පෙරහර නොනැවතුණි. එවැනි අවස්ථාවක පෙරහරට දින කිහිපයකට පෙර විහාරාධිපති ගල්බොඩසිරි ඤාණීස්සර ආචාර්ය නාහිමියෝ අපූරු සිහිනයක් දුටුවහ. කවුදෝ කෙනෙක් පැමිණ ‘නැට්ටුවෝ නැතිව පෙරහර කරන්නේ කොහොමදැ’යි උන්වහන්සේගෙන් විමසීය.
පසුදාම පෙරහරට සහභාගි වන නැට්ටුවන් පිළිබඳව විමසා බැලු උන්වහන්සේට දැනගන්නට ලැබුණේ කැරලිකරුවන් විසින්, පෙරහරට සහභාගි වූයේ නම් අත්වන ඉරණම මරණය වන බවට ඔවුන්ට අනතුරු හඟවා තිබූ බවය. කිසිදු නැට්ටුවෙක් පෙරහරට පැමිණීමට තබා නිවෙසින් එළියට බැසීමටවත් අකමැති වූහ. එයින් නොසැලුණ පොඩි හාමුදුරුවෝ පොලිස් පණිවිඩ ලබා දී ආරක්ෂාව සපයමින් නැට්ටුවන් ගෙන්වාගෙන වෙනදා මෙන්ම පෙරහර පැවැත්වූහ.
තවත් අවස්ථාවක කොප්පරා පන්දමකට පාදයක් පිලිස්සී කුලප්පු වූ අලියා දැක පෙරහර නැරැඹීමට ආ පිරිස් හිස්ලු ලූ අත දිවූහ. පෙරහරේ සිටි අනෙකුත් අලි ද කුලප්පු වූහ. කුලප්පු වූ අලියෙක් එය නැරැඹීමට පැමිණ සිටි, හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාස මහතා අසලට ද එනු දුටු ජනපති ආරක්ෂක පිරිස් සිසීකඩ දිවූහ.
මේ අවස්ථාවේ නොබියව ඉදිරියට පැමිණි අප පොඩි හාමුදුරුවෝ අලි සන්සුන් කොට නැවත පෙරහර පැවැත්වූහ. නවම් පෙරහරේ අතීත ස්මරණයත් එබඳුය. මේසා ගැටලු අභියෝග අතරින් නොනැවතී පැවතෙන හුණුපිටිය ගංගාරාම නවම් මහ පෙරහර අද කොළොම්පුර මහා මංගල්‍යය ලෙස ලොව පුරා සුපතළය.
නවම් මහා පෙරහර විවිධ කලාංගයන්ගෙන් සමලංකෘතය. රට පුරා විසිරී සිටින උඩරට, පහතරට, සබරගමු යන සාම්ප්‍රදායික නර්තන කණ්ඩායම් හා ජන නැටුම් කණ්ඩායම් මඟින් පෙරහර විචිත්‍රවත් කරනු ලැබේ. පෙරහරට සහභාගි වන ශිල්පීන්ට ප්‍රසිද්ධියක් ලබා දෙමින් එම කලාංගයන් අනාගත පරපුරට ආරක්ෂා කර දෙන්නට එම කලාකරුවන් දිරි ගැන්වීම, දිරි දීමනා ඒ ඒ ශිල්පියා අතටම ලබා දීම නවම් පෙරහරෙන් වන වටිනා සේවයකි.
ආගමික හා සංස්කෘතික වටිනාකම හා සමානව නවම් පෙරහරේ සමාජයීය වටිනාකම ද මිල කළ නොහැකි ය. විශේෂයෙන් කොළඹ නගරය හා අවට ජීවත්වන සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ආදි සියලු ජාතින් එකම අරමුණක් වෙනුවෙන් එක් තැනකට ගොනු කිරීම, ඔවුනොවුන් අතර සාමය සුහදතාවය වර්ධනය කිරීම නවම් මහ පෙරහරේ සුවිශේෂිත්වයකි.
බෞද්ධාගමික උත්සවයක් වුවද ජාතික සමඟිය වෙනුවෙන් හින්දු, මුස්ලිම් නර්තනයන් ද, මුස්ලිම් ජාතිකයන් විසින් පෙරහර නරඹන්නන් වෙනුවෙන් පවත්වන දන්සල් ද නිහඬව ලොවට කියා පාන්නේ ඒ සමඟි බවේ අසිරියයි.