එංගලන්තයේ පදිංචිය අත්හැර ලංකාවට පැමිණ කාබනික පෝර යොදා ගනිමින් වගාවේ යෙදී සිටින එංගලන්ත තරුණයකු පසුගියදා අපට මුණ ගැසිණි.
තම බිරිය සමඟ 2019 වර්ෂයේදී ලංකාවට පැමිණි ක්‍රිෂ් මෙර්ල් නම් මේ තරුණයා සතුව පර්චස් 340ක පොල් ඉඩමක් සහ පර්චස් තුන් සියයක කුරුඳු ඉඩමක් තිබෙන බව ඔහු අප හා පැවසුවේය.
අම්බලන්ගොඩ, කුලීගොඩ ගල්දූවේ සුන්දර පරිසරයක නිවසක් ඉදිකර ගෙන එහි පදිංචිව සිටින මේ යුවළ සොයා අප එහි යන විටත් ඔවුහු තම නිවස ආසන්නයේ පිහිටි කුරුදු ඉඩමෙහි වගා කටයුතුවල යෙදී සිටියහ.
කුරුඳුවලට අමතරව කෙසේල්, පැපොල්, අඹ, ජම්බු, වෙරළු, අන්නාසි, අලිගැට පේර, රඹුටන් ආදී පලතුරු වර්ග සහ කෝපිත් එහි වගා කර තිබුණි.
අප හා කථා බහට එක්වූ ක්‍රිෂ් සහ ඔහුගේ බිරිය තම වගා කටයුතු සම්බන්ධයෙන් මෙසේ පැවසුහ. මේ ඉඩමෙ තිබෙන කුරුඳුවලටවත් අනෙක් පලතුරු ගස්වලටවත් අපි රසායනික පොහොර කිසිවක් යොදන්නේ නැහැ.
අපට අවශ්‍ය කරන කොම්පෝස් පොහොර අපම නිපදවා ගන්නවා. ඊට අවශ්‍ය කරන මැෂිමකුත් අප මිලට ගත්තා. ඊට අමතරව අපි දියර පොහොරත් හදා ගන්නවා. කුඩා මාළු, සීනි සහ ජලය එකතු කරගෙන තමයි අපි දියර පොහොර හදා ගන්නේ. රසායනික පොහොර නැති වුණාට අපේ වගාව ඉතා සාර්ථකයි. කුරුඳු සහ පොල් අලෙවි කර අපි හොඳ ආදායමක් උපයා ගන්නවා.
නැවත එංගලන්තයට යන්න අපේ අදහසක් නැහැ. මගේ බිරිය නම් ළඟ දී එංගලන්තයට ගිහින් එයාගෙ අම්ම තාත්ත බලල ආපසු ලංකාවට ආවා. අපි ලංකාව වටේම ඇවිදල තියෙනවා.
ලංකාව හරිම ලස්සනයි. ලංකා පොළවේ ඕනෑම දෙයක් වගා කරන්න පුළුවන් කියල අපි හිතනවා. ඒගේම ලංකාවෙ මිනිස්සු හරිම මිත්රශීලියි.
අපි පදිංචි වෙලා ඉන්න ඉඩමට සවස් වරුවෙ නොයෙකුත් වර්ගයේ කුරුල්ලො එනවා. අපි උන් දිහා බලල සතුටු වෙනවා. මෙහි පරිසරයත් හරිම ලස්සනයි. ඒ නිසා ලංකාව අත්හැරල යන්න තමන් කැමති නැතැයි ක්‍රිෂ් පැවසුවේය.
අම්බලන්ගොඩ සමූහ ආර්. ඤාණදාස